• Fri. Feb 3rd, 2023

මෙහෙම ගියොත් අවුරුදු 50 ක්‌ ගියත් රැකියා දශලක්‌ෂයක්‌ දෙන්න බෑ – මහාචාර්ය ජිනදාස කටුපොත

sri lanka job

නව ආණ්‌ඩුවක්‌ පත්වීමත් සමග ජනතාවට අලුත් බලාපොරොත්තු මල්ලක්‌ ලැබීම අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පස්‌ අවුරුදු සැලැස්‌ම, දස අවුරුදු සැලැස්‌ම රැකියා බැංකු ක්‍රමය ආදිය එලෙස පසුගිය ආණ්‌ඩු විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු කිහිපයක්‌ ලෙස සඳහන් කළ හැකිය. සැලසුම් සහගත ආකාරයට එම යෝජනා ක්‍රියාත්මක වී නම් මේ වනවිට අපේ රට සුරපුරයක්‌ විය හැකිව තිබූ නමුත් ඒවා බොහෝමයක්‌ කඩවුණු පොරොන්දු බවට පත් වූයේ රටේත් ජනතාවගේත් අවාසනාවටය.

වර්තමාන නව රජය ජනතාව හමුවේ තබා ඇති පොරොන්දු මල්ලේ ප්‍රධාන පොරොන්දුවක්‌ ලෙස සැලකිය හැක්‌කේ ඉදිරි පස්‌ වසර තුළ ලබාදීමට යෝජිත රැකියා දශ ලක්‍ෂයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ සේවා සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත එම ඉලක්‌කය පිළිබඳ කළ විග්‍රහයකි මේ.

ඉදිරි වසර 5 තුළ රැකියා දශ ලක්‌ෂයක්‌ නිර්මාණය කරන බවට ආණ්‌ඩුව ප්‍රතිඥා දී තිබෙනවා. මෙය යථාර්ථයක්‌ බවට පත්කළ හැකිද?

අලුත් ආණ්‌ඩුවක්‌ පත් වූ වහාම නොයෙක්‌ සැලසුම් පිළිබඳ ජනතාවට පොරොන්දු දීම අපේ රටේ ඉතිහාසය පුරාම දැකිය හැකි දෙයක්‌. පස්‌ අවුරුදු සැලැස්‌ම, දස අවුරුදු සැලැස්‌ම ආදී වශයෙන් විවිධ සැලසුම් පසුගිය දශක පහක හයක කාලය තුළ ඉදිරිපත් වුණා. අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය ක්‌ෂේත්‍ර පිළිබඳව ඒ සැලසුම් යෝජිත ආකාරයටම ක්‍රියාත්මක වුණා නම් අපි අද ලෝකයේ බලවත්ම රටක්‌. අවුරුදු පහෙන් පහට අපේ රටේ ආණ්‌ඩු වෙනස්‌ වුණු යුගය අවසන් වෙලා අවුරුදු 10 – 12 රට කරවූ ආණ්‌ඩුවලට වත් ඒ සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සේවා නියුක්‌තියේ හෝ සංවර්ධන කටයුතුවල විශාල ප්‍රගතියක්‌ ඇති වූ බවක්‌ පෙනුණේ නෑ.

පසුගිය දශක කිහිපයක කාලය තුළ කාර්මික සංවර්ධනය සඳහාත් පැහැදිලි අවස්‌ථා රැසක්‌ නිර්මාණය වුණා. විශේෂයෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමයේ රාජ්‍ය සංස්‌ථා, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ඇසුරෙන් රටේ කාර්මික සංවර්ධනයටත් වැඩි ඉඩ ප්‍රස්‌ථා ඇතිවුණත් නිසි ලෙස ඒවා ප්‍රයෝජනයට ගත්තේ නෑ. පසුකාලයේ රට තුළ ඇති වූ තරුණ නැගිටීම්වලට, කැළඹිලිවලටත් මේ අසංවර්ධිත තත්ත්වය බලපෑවා.

රටේ අධ්‍යාපනයේ දියුණුවීම පිළිබඳ තත්ත්වය බලන්න. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු හැටේ දශකයේ මුල් භාගයේ අපේ රටේ තිබුණේ විශ්වවිද්‍යාල හතරයි. අද එය තුන් හතර ගුණයකින් වැඩිවෙලා. විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් ප්‍රමාණය වැඩිවෙලා. නමුත් වැඩිදෙනෙකුට කරන්න රැකියාවක්‌ නෑ. දේශපාලනඥයකුගේ බලපෑමකින් තොරව උපාධිධාරියකුටත් අද රැකියාවක්‌ ලබාගන්න එක ලේසි නෑ. සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත හා කාර්මික ඇතුළු අනෙක්‌ බොහෝ අංශවල තත්ත්වයත් මේකයි. එහෙමනම් මේ රට සංවර්ධනය වෙලා කියල කියන්න පුළුවන්ද? මේවා සම්බන්ධයෙන් වෙනස්‌ නොවන, කිසිවෙකුට අත නොගැසිය හැකි පරිදි ප්‍රතිපත්ති රාමුවක්‌ ඇති කරන්නට ඕන.

employees-working-on-the-floor-of-the-outsourcing-company-wns-in-mumbai670ඔබ කියන්නෙ වසර 5 ක්‌ තුළ මේ රැකියා දශලක්‌ෂයක්‌ ඇති කිරීම කළ නොහැකි දෙයක්‌ කියලද?

කරන්න පුළුවන්. ප්‍රතිපත්තියක්‌ නොහදා ඒක කරන්න බෑ. මේ පාර්ලිමේන්තුවට එවැන්නක්‌ කරන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. මේ පාර්ලිමේන්තුවෙත් වැඩිපුර ඉන්නෙ ගිය පාර්ලිමේන්තුවේ හිටපු අය. අ.පො.ස සාපෙළ වත් සමත් නැති අසූපහක්‌ විතර ඉන්න පාර්ලිමේන්තුවකට රටේ විවිධ ක්‌ෂේත්‍ර සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හදන්න පුළුවන් වෙයිද කියල මම දන්නෙ නෑ.

මේ වනවිටත් විවිධ ආයතනවල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්‌ෂණ කැඳවමින් රැකියා ලබා දෙනවා. ඔබ මේ යෝජනා කරන ප්‍රතිපත්ති රාමුවක්‌ මත නොවෙයි, පැරණි ක්‍රමයමයි මේ ඉදිරියට යන්නේ?

පසුගිය සතියේ වයඹ පළාතේ දුෂ්කර පාසල්වලට ගුරුවරු බඳවා ගැනීමට තරග විභාගයක්‌ පැවැත්වුවා. ප්‍රාථමික, ද්විතියක, තෘතියික විදිහට කොටස්‌ කරල ඒ එකිනෙකහි තිබෙන පුරප්පාඩු ගැසට්‌ කරල තිබුණ. මේ පුරප්පාඩු සඳහා බඳවගන්නෙ ගුරුවරු 424 යි. මේ 424 බඳවාගන්න උපාධිධාරින් 12,000 කට වඩා ඉල්ලුම් කරල තිබුණ. තරග විභාගයට ඉල්ලුම් කරන්න එක උපාධිධාරියෙකුට රුපියල් 600 ක්‌ පමණ වැයවෙනවා. යැම් ඊම් ඇතුළු අනෙකුත් වියදම් අනුව රුපියල් දාහක්‌ විතර එක උපාධිධාරියෙකුට වැයවෙනවා. මේ විදිහේ තරග විභාග පැවැත්වීම ආණ්‌ඩුවට විශාල ආදායමක්‌. මේ වෙනකොටත් මේ පුරප්පාඩු පුරවලද? තරග විභාගයෙන්මද මේ අය බඳවගන්නෙ වගේ සැක සංකාත් මේ අපේක්‌ෂකයො වැඩි දෙනෙක්‌ තුළ තියෙනව. දැනට ටික කාලෙකට කලින් සංවර්ධන නිලධාරීන් පිරිසක්‌ බඳව ගත්තෙත් මේ විදිහටමයි.

පසුගිය ආණ්‌ඩුව කාලෙත් දේශපාලන ව්‍යාපෘතිවලට සම්බන්ධ නොවූ අයට රැකියා ලබාගැනීමට අපහසු වුණා. නොයෙක්‌ බලකායන්වලට සම්බන්ධ වෙන්න සිදුවුණා. අවුරුදු 4 ක්‌ විශ්වවිද්‍යාලෙ ඉගෙනගත්තු උපාධිධාරියකුට රැකියාවක්‌ ලබාගන්න අටපාස්‌ නැති දේශපාලකයෙක්‌ පස්‌සෙ යන්න සිදුවීමේ ෙ€දවාචකය තවදුරටත් ක්‍රියාත්මක වෙනව නම්, රැකියා උත්පාදනය කළ හැකි අවස්‌ථා හා මාර්ග විවෘත කරගන්නෙ නැතිව මේ ආණ්‌ඩුවත් යන්නෙ පරණ විදිහට නම් අවුරුදු 5 ක්‌ තුළ රැකියා දශලක්‌ෂයක්‌ දෙන්න බෑ. පහක්‌ නෙමෙයි අවුරුදු පනහක්‌ තුළ වත් බෑ.

රැකියා ලබාදීම ගැන ජාතික ප්‍රතිපත්තියක්‌ ඇති කළ යුතු බව ඔබ සඳහන් කළා. කොහොමද ඒක කරන්නෙ.? ඒ සඳහා අවශ්‍ය පසුබිම ඇතිකරගන්නෙ කොහොමද.?

අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සංඛ්‍යාව 225ක්‌. ජාතික ප්‍රතිපත්තියක්‌ හැදීමේ මූලික වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. රටේ ප්‍රධාන පක්‌ෂ දෙක එකතු වුණා කියල මේ වැඩේ කරන්න බෑ. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් මේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ කර ගන්න ඕන.

අපේ රට ස්‌වාභාවික සම්පත්වලින් පිරුණු රටක්‌. ස්‌වාභාවික දායාදවලින් පමණක්‌ නොවෙයි සංස්‌කෘතික උරුමයන්ගෙනුත් පිරුණු රටක්‌. වර්ග කිලෝමීටරයකට අඩුම තරමින් පුරාවිද්‍යා ස්‌ථාන තුනක්‌ හතරක්‌ වත් තියෙනවා. ඒ අනුව රට පුරා පුරා විද්‍යා වටිනාකමකින් යුතු ස්‌ථාන ලක්‌ෂයකට වඩා තියෙනවා. මේ ලක්‌ෂයෙන් කීයද අපි දැනට සොයාබලා සංවර්ධනය කරල තියෙන්නෙ. පොළොන්නරුව අනුරාධපුර, සීගිරිය, දඹදෙණිය, යාපහුව වැනි ප්‍රධාන නගර ආශ්‍රිතව පවා තව කොපමණ මෙබඳු ස්‌ථාන තිබෙනවද? අතීතයේ මේවා නිර්මාණය කර ඇති ආකාරය දෙස බලන විට ඒ අතීතයේ කෙබඳු සංවර්ධනයක්‌ මේ රටේ තිබෙන්න ඇද්ද? කොයිතරම් පිරිසක්‌ මේ ව්‍යාපෘතිවල නිරතව ඉන්න ඇද්ද? කොපමණ රැකියා ප්‍රමාණයක්‌ ඒ තුළින් උත්පාදනය වෙන්න ඇද්ද? මා මේ කියන්නේ එක ක්‌ෂේත්‍රයක්‌ ගැන පමණයි.

මේ පුරාවිද්‍යා ස්‌ථාන ටික සංරක්‌ෂණය කිරීම තුළින් පමණක්‌ කොතරම් රැකියා ප්‍රමාණයක්‌ උත්පාදනය කරන්න පුළුවන්ද? මධ්‍යම සංස්‌කෘතික අරමුදල යටතේ මේ වනවිට අවුරුදු 4- 5 කාලයක්‌ සේවය කරන උපාධිධාරීන් හාරපන්සීයක්‌ ඉන්නවා. ඒ අය ලබන වැටුප් කම්කරුවන් ලබන වැටුපටත් වඩා අඩුයි. මේවා නිවැරැදි නොවී ඔවුන්ගෙන් රටට කාර්යක්‍ෂම සේවාවක්‌ ලබා ගන්න අමාරුයි.

පුරාවිද්‍යා ස්‌ථාන සංරක්‍ෂණය තුළින් සංචාරක ව්‍යාපාරය බඳු ඒ හා ආශ්‍රිතව දියුඣ්ණු කළ හැකි තවත් අතිරේක රැකියා විශාල ප්‍රමාණයක්‌ උත්පාදනය කළ හැකි අංශ තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා යෝජනා කළ කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ තුළිනුත් රැකියා විශාල ප්‍රමාණයක්‌ උත්පාදනය කළ හැකියි. අපේ රටේ තිබෙන මෙබඳු රැකියා උත්පාදනය කළ හැකි අවස්‌ථා පාදාගන්නේ නැතිව සංවර්ධන නිලධාරි පත්වීම්, ගුරු පත්වීම්, බැංකු තනතුරු ආදිය තුළින් නම් මේ ඉලක්‌කය සපුරාගන්න බෑ.

පාර්ලිමේන්තුවේ 225 ක්‌ ඉන්නවා. ඉන් සමහරු අඩු තරමින් සීගිරි වත් ගිහින් නැත්නම් ඒ ස්‌ථානවලට ගිහින් බලල, මම කියන්නෙ විනෝද ගමනකට නෙමෙයි, අපේ පැරණි රජවරුන්ගෙන් වත් ආදර්ශ අරගෙන මේ රට දියුණු කිරීමට අවශ්‍ය රැකියා උත්පාදන මාර්ග පිළිබඳ අවබෝධයකින් මේ ජාතික කර්තව්‍යය සිදුකිරීමේ වගකීම මැතිඇමතිවරුන් බාරගන්න ඕන.

සාකච්ඡා කළේ :පාලිත සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *