• Sun. Jan 29th, 2023

ක්‍රිකට් ගිණි ගන්නට පෙර..?

Srilanka Cricket

මෙරට ක්‍රීඩාවේ ප්‍රධාන වෙළෙඳපොළ ක්‍රිකට්‌ය. ක්‍රිකට්‌ නිසා ජීවිතය ගැට ගසා ගන්නෝද බොහෝය. ඒ කෙසේ වෙතත් මෙරට ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට්‌ ක්‍රීඩාව යනු කුසට ආහාරයක්‌ මෙනි. එහෙව් ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙහෙයවන මහගෙදර හොර ගුහාවක්‌ ලෙස හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ සීබී රත්නායක වරක්‌ පැවසීය. ක්‍රිකට්‌වලට එල්ල වන චෝදනා නම් බොහෝය. නමුත් පිත්තත් පන්දුවත් අතැතිව පිටියට යන කොල්ලන් ටික එක පිට එක පැරදෙන විට ක්‍රිකට්‌ කලාවම නන්නත්තාර වනු ඇත. එබැවින් මේ අපේ ක්‍රිකට්‌වල සංක්‍රාන්ති සමයක්‌ යැයියි අපි හඳුන්වමු.

ඒ සංක්‍රාන්ති සමයේ ක්‍රිකට්‌ නිලවරණ උණුසුම වැඩි වෙද්දී ක්‍රිකට්‌ පිටියේ උණුසුම පහව ගොස්‌ ඇති සෙයකි. ඒ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වත්මන් පසුබැසීමයි. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩ බලන පුහුණුකරුගෙන් අපි මෙසේ විමසුවෙමු.,

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ක්‍රීඩකයන්ගේ වෙනසක්‌ වෙයිද?”

ජෙරම් – “කාවද දාන්නෙ කියන්නකෝ” යනුවෙන් ජෙරම්ගේ පිළිතුර විය. ඒ පිළිතුරෙන් සනාථ වන්නේ අපේ ක්‍රිකට්‌වල වත්මන් පසුබැසීම නොවන්නේද?

මීට වසර කිහිපයකට පෙර එකෙකු අසාර්ථක වන විට දෙතුන් දෙනෙක්‌ ඒ සඳහා පෙළ ගැසී තිබුණි. දැන් ක්‍රීඩකයන් කෙසේ වෙතත් ක්‍රිකට්‌ පරිපාලනයට නම් ඕනෑ තරම් කණ්‌ඩායම් සූදානමින් සිටිති.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මුල, මැද සහ අග හරියට නොතිබුණහොත් කොතැනකදී හෝ අපේ ක්‍රිකට්‌ “හොම්බෙන්” යනු ඇත. දැන් සිදුවෙමින් යන්නේද එවැනි තත්ත්වයකි. එබැවින් පරිපාලකයා සහ ක්‍රීඩකයා යන ප්‍රධාන අංශ දෙකත් සැලසුම් මගින් ඉදිරියට යන වැඩපිළිවෙලකත් අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට දැන් අත්‍යවශ්‍යම වී තිබේ.

මැච් තරග පාවාදිම්වල අපේ ක්‍රිකට්‌ ගෑවි නැත. නමුත් ඒ විෂබීජය අපේ ක්‍රිකට්‌වල කොතැනක හෝ තිබේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාජිකයන් දෙදෙනකු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. වාර්තා වන අන්දමට ඒ ගාල්ලේ පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ සම්බන්ධව සොයා බැලීමටය. එය තවම පරීක්‍ෂණයක්‌ පමණි. කෙසේ වෙතත් අපේ ක්‍රිකට්‌ කලු පැල්ලම් වලින් තොරව ඉදිරියට නොගියහොත් ලෝකයේ ක්‍රිකට්‌වල යෝධයන් වන අප, ඉදිරියේදී ලිලිපුට්‌ටන් ගණයට වැටෙනු ඇත.

එයට හේතුවක්‌ද තිබේ. ඇමරිකාව, ජපානය සහ චීනය වැනි රටවලද දැන් ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීමට පටන් ගෙන තිබෙන බැවිනි. එබැවින් අදට වඩා හෙට තරග කරන්නට හැකි ලෙස අපි දිනෙන් දින පොහොසත් විය යුතුය. ටෙස්‌ට්‌ වරම් තිබූ පමණින් ඉදිරියේදී ලෝක කුසලාන වරම හිමි නොවේ. එහිදී ටෙස්‌ට්‌ ශ්‍රේණියේ පළමු කණ්‌ඩායම් අට අතර නොසිටියහොත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් පසුව අදාළ අවස්‌ථාව ලබා ගත යුතුය.

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමි වූවේද එක්‌දින ශ්‍රේණියේ අඩියටම වැටී සිටි හෙයිනි. එබැවින් අපිත් පරිස්‌සම් විය යුතුය. ඒ සඳහා දැන් ඕනෑවටත් වඩා කල් වෙලා තිබේ.

මෙරට ක්‍රීඩාවේ වේවැල අත දරා සිටින්නේ දයාසිරි ජයසේකර ඇමැතිතුමාය. ඔහු තවම ක්‍රිකට්‌ සුද්දයක්‌ පටන්ගෙන නොමැත. එහෙත් හිටපු ක්‍රිකට්‌ පරිපාලකයන්ගේ දූෂිණ අක්‍රමිකතා වාර්තාවක්‌ නම් ඔහු පසුගියදා කියවා තිබේ. එබැවින් අපට වඩා ඔහු දැන් ක්‍රිකට්‌ ආයතනයේ කෙරුවාවල් ගැන දන්නවා ඇත. ඒ කෙසේ වෙතත් ජයග්‍රහණයට අවශ්‍ය පරිපාලනයක්‌ ගෙන ඒමට ක්‍රීඩා ඇමැතිතුමාට රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ සටනක්‌ කිරීමට සිදුවනු ඇත.

දේශපාලන වේදිකාවේ මනාපයට පොරකමින් ප්‍රතිවාදීන්ට ඇති හැටියට මඩ ගහන කලාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණවලටද පොදුය. දේශපාලනය රිංගු විට ක්‍රිකට්‌ බංකොලොත් වන බව අර්ජුන රණතුංගද පැවසීය. ඔහුද දේශපාලනඥයෙකි. නමුත් මෙවර දේශපාලන කෝට්‌ එක පසෙක තබා සද්භාවයෙන් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රිකට්‌ නිලවරණයට තරග කිරීමට ඔහු සූදානමින් සිටියි.

එහෙත් ඔහුගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග තරග කළහොත් ඔහු තරග නොකරන බවද පවසයි. කෙසේ හෝ රණතුංග කෙනෙක්‌ ක්‍රිකට්‌ මුල් පුටුවට එනු ඇතැයි මතයක්‌ තිබුණද රටේ ඉහළ තැනටද මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුවනු ඇතැයි තවත් පාර්ශවයක්‌ පවසයි. එයට හේතුව තිලංග සුමතිපාල මහතාද ක්‍රිකට්‌ නිලවරණයට ඒමට සුදානමක්‌ තිබෙන නිසාවෙනි. අවසානයේ ධර්මදාස පාර්ශවයක්‌ නිතරගයෙන්ම ක්‍රිකට්‌ මහ පුටුවට එනු ඇතැයිද විශ්වාසයක්‌ තිබේ.

ඇතැම් විට ක්‍රීඩකයන් සහ පරිපාලකයන් අමනාප විය. එයට ප්‍රධාන හේතුව කප්පාදුවය. මේ කප්පාදුව කරන ලද්දේ ක්‍රීඩකයන්ගේ පොකැට්‌ටුවටය. එවිට ක්‍රීඩකයන් අසතුටින්ය. නමුත් පරිපාලනයේ ඇතැම් පඩි නඩි ඉස්‌තරම්ය. ක්‍රිකට්‌ ගසා මුදල් ගෙනෙන්නේ ක්‍රීඩකයන්ය. එබැවින් ඔවුන්ගේ පොකැට්‌ටුව කොතරම් බර වුවාට කිසිවකු කලබල විය යුතු නැත. ඔවුන් අසාර්ථක වුවහොත් එක පෙළට මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවද අහේනියකට ලක්‌වනු ඇත.

කෙසේ වෙතත් නිලවරණයෙන් කවුරු පැමිණියද එය සර්ව සාධාරණ පත්වීමකි. නමුත් හොඳ වැඩ නතර කළහොත් එය හත්පොළේ ගා ගැනීමක්‌ බඳුය. ඒ පිළිබඳව මුත්තයියා මුරලිදරන්ද අපූරු අදහසක්‌ පසුගියදා පැවසීය. “අපිට පළාත් තරගාවලියක්‌ නැහැ. තිබුණ පළාත් තරගාවලි තියන්නෙත් දකුණු පළාතෙ එක්‌කෙනා නැගෙනහිරට දාලා. එක පළාත් තරගාවලියක මාව දැම්මා ජැµඅනා කණ්‌ඩායමට. මගේ ගම නුවර. නමුත් මම නුවර කණ්‌ඩායමට නැහැ. මම ආස මගේ ගමට ක්‍රීඩා කරන්න. එතකොට තමයි ප්‍රේක්‍ෂක සහභාගීත්වයත් වැඩිවෙන්නෙ. ඉතිං පළාත් තරගාවලියක්‌ තියෙනව නම් ඒ පළාතෙ ක්‍රීඩකයා ඒ පළාත නියෝජනය කළ යුතුමයි.” යනුවෙන් මුරලි පැවසීය.

කුමාර් සංගක්‌කාරද පළාත් තරගාවලියක අවශ්‍යතාව පහදා දුන්නේය. මුරලි සහ සංගක්‌කාර අතගසා තිබෙන මුරලි කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී මෙම කතා බහ ඇදී ආවේ ඔවුන් වැනි සුපිරි ක්‍රීඩකයන් මෑත කාලයේදී බිහිවන ලකුණක්‌ හෝ පෙනෙන්නට නොතිබූ නිසාවෙනි.

අතුරු කමිටුවට නැවතීමේ ලකුණු තැබීමට තවත් ඇත්තේ මාස දෙකකි. මුත්තයියා මුරලිදරන්ගේ කළමනාකරු වන කුෂිල් ගුණසේකර වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුවේ උපසභාපතිවරයාය. “මේ අයට තව ටික දවසයි ක්‍රිකට්‌ ආයතනයේ ඉන්න පුළුවන්” මුරලි කුෂිල්ව ළඟ තබාගෙන පැවසීය. එබැවින් ක්‍රිකට්‌ නිලවරණයට ක්‍රීඩා ඇමැතිතුමාද සංඥව නිකුත් කර තිබේ.

එහෙත් නිලවරණයෙන් කවුරු පැමිණියද ක්‍රිකට්‌ මකර කටට නොයවා පවත්වාගෙන යන්න සිදත් වෙත්තමුණිගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ අතුරු කමිටුව අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ පළාත් තරගාවලියක්‌ මෙන් කලාප ක්‍රමයට තරගාවලියක්‌ පැවැත්වීමටයි. මේ සියලු වැඩ කටයුතු සද්භාවයෙන් කරළියට ගෙන ඒමට මහේල ජයවර්ධනද මහත් සහයෝගයක්‌ ලබා දී තිබේ.

අපි ලෝක කුසලාන හතරක අනූශූරයෝ වූවෙමු. පසුව පස්‌වැනි වර අපි ලෝක ශූරයෝ වීමු. ඉදිරියේදීත් අනුශූරයෝ හෝ ශූරයෝ වන්නට අපට හැකියාවක්‌ ඇත. ඒ ශ්‍රී ලංකාවේ හතර දිග් භාගයේම ළමුන් ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආදරය කරන නිසාවෙනි. එය මෙහෙයවන පාලකයා හරි දිසාවට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඇදගෙන යා යුතුය. එවිට ක්‍රීඩකයන්ගේ අහේනියද නිමා වනු ඇත. ජයග්‍රාහී ගොඩ වැඩිවන විට පරිපාලකයාද ඉබේටම ගොඩ යනු ඇත.

අසේල විතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *