පැරීසියේ දෙමළ ප්රජාව හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රිවරු පිරිසක් අතර පවත්වන්නට ගිය සාකච්ඡාවක ඇති වූ දැඩි කලබලකාරී තත්ත්වයක් හේතුවෙන් ප්රංශ පොලිසිය කඳුළු ගෑස් ගසා කලබලකාරීන් විසුරුවා හැරීමේ සිදුවීමක් වාර්තා වෙයි.
ප්රංසයේ පැරිස් නුවර ලා චැපල්හි අවන්හලක ඉකුත් 9 වැනිදා (සිකුරාදා) පැවැත්වීමට සංවිධානය කර තිබූ මේ රැස්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රිවරුන් සිවු දෙනකු සහභාගි වී සිටි අතර ලා චැපල් හි දෙමළ ප්රජාව නියෝජනය කරමින් දෙමළ ජාතිකයන් 40ක පමණ පිරිසක්ද සහභාගි වූහ.
මේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානයෙන් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්රි සෙල්වම් අඩෛකලනාදන්, උතුරු පළාත් සභා මන්ත්රි එම්.කේ. සිවාජිලිංගම්, අම්පාර පාර්ලිමේන්තු මන්ත්රි අරියනාගවම් කවීන්තිරන් කොඩීස්වරන් හෙවත් ‘රොබින්සන්’ හා ටෙලෝ සංවිධානයේ නැඟෙනහිර පළාත් සභා මන්ත්රි ගෝවිනාදන් කරුණාකරම් හෙවත් ‘ජනා’ යන අය සහභාගි වූ අතර ලා චැපල් හි දෙමළ ප්රජාවගෙන් ‘ජනා’ නමැති පළාත් සභා මන්ත්රිවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
රැස්වීමට එක්වූ ලා චැපල් හි දෙමළ ජාතිකයන් එල්ටීටීඊ හිතවාදී පිරිසක් වූ හෙයින් ඔවුහු ‘ජනා’ නමැත්තාගෙන් ප්රශ්න කර ඇත්තේ නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවට එරෙහිව අපරාධ රැසක් සිදුකර ඇති ඔහු දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට යන්නේ කෙසේද යන්නයි.
එල්ටීටීඊ හිතවාදීන්ගේ දැඩි ප්රශ්න කිරීම් හමුවේ රැස්වීම කඩාකප්පල් වී ගොස් ඇති අතර මන්ත්රිවරුන් පිරිසට කිසියම් ප්රහාරයක් එල්ල වේ යැයි සැක සිතා සංවිධායකයන් වහාම පැරිස් පොලිස් හදිසි ඇමැතුම් ඒකකය කැඳවා තිබේ.
රැස්වීම තිබූ අවන්හල වෙත පොලිස් වාහන 7කින් නිලධාරීන් 30 දෙනකු පමණ පැමිණ ඇති අතර කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැර මන්ත්රිවරුන් ආරක්ෂිත ස්ථානයකට යැවීමට කඳුළු ගෑස් එල්ල කිරීමට එහිදී පොලිසියට සිදුව තිබේ.
රැස්වීමට සහභාගි වූ දෙමළ සන්ධානයේ මන්ත්රිවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත්තේ එම යෝජනාව ශ්රී ලංකා රජයට වාසි සහගත හෝ දෙමළ ජනතාවට විරුද්ධව ගෙන එනු ලැබූ යෝජනාවක් නොවන බවයි.
මෙහිදී දැඩි ලෙස අදහස් දක්වා ඇති එල්ටීටීඊ හිතවාදීන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රිවරුන්ට පවසා ඇත්තේ එල්ටීටීඊය අතු ගා දැමීමට උපකාර කළ ‘ජනා’ වැනි අයකු ජිනීවා පැමිණියේ කෙසේද යන්නයි. මෙහිදී ඔවුන් කලබල කරමින් පවසා ඇත්තේ මීළඟ වාරයේදී ඊව්ඒ සංවිධානය කරුණා අම්මාන් හෝ ඩග්ලස් දේවානන්දා ජිනීවා රැගෙන එනු ඇති බවයි.
සංජය දසනායක