නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති විදේශීය බල්ලන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කරදී තම පියා වසර ගණනාවක් තිස්සේ බලු කූඩුවක සිරකර තැබූ බව කියන කාන්තාවක බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලගොල්ල, කෙන්ගල්ල පංචපිටිය ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම කාන්තාවගේ මව හා සැමියා විදේශ ගතව ඇත.
පියා හා දරුවන් දෙදෙනා සමඟ ඇය නිවසේ ජීවත්ව තිබෙන බවයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.තම පියා නිවස ආසන්නයේ මළ මූත්රා පිටකරමින් අපිරිසිදු කරන බැවින් ඔහුව බලු කූඩුවේ දැමීමට මෙම කාන්තාව කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
නිවසේ සුරතලයට ඇතිකරන විදේශීය රටවල සුනඛයින් තිදෙනකු පැටවුන් සමඟ නිවසේ ඇඳන් මත වැතිරෙමින් නිදහසේ සිටියදී මෙම කාන්තාව ඇගේ 73 න් හැවිරිදි පියාව බලුකූඩුවේ සිරකර තබා ඇත.
මේ සම්බන්ධව ඇයට එරෙහිව අයුතු අවහිරය හා අයුතු සිරකර තැබීම යටතේ නඩු පවරන බව පොලීසිය පවසයි.
බලු කූඩුවේ සිරකර සිටි අදාළ කාන්තාවගේ පියා මහනුවර ප්රධාන පෙළේ හෝටලයක කලකට ඉහත සේවය කර තිබෙන අතර ඔහුට සිටින එකම දරුවා මෙම කාන්තාව බව ද වාර්තාවෙයි.
කතාකර ගැනීමට පවා නොහැකිව බෙහෙවින් දුර්වලව සිටි පියා ප්රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබේ.
සහකාර පොලිස් අධිකාරී කමල් රණවීරගේ උපදෙස් මත බලගොල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.කේ පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
(අසේල කුරුළුවංශ)