• Thu. Feb 2nd, 2023

නාස්‌තිය අවමකර ජනාධිපති කාර්යාලයෙන් මිලියන 320ක්‌ ඉතිරි කළා – ජනපති මෛත්‍රි

maithripala sirisena

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන නියෝජිත පිරිසක්‌ ඊයේ (13 දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. ජනාධිපතිවරයා සමඟ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්‌වූහ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෛද්‍ය කේසවරාඡ්, සන්ඩේ ටයිම්ස්‌ කර්තෘ සිංහ රත්නතුංග, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, දි අයිලන්ඩ් කර්තෘ මණික්‌ ද සිල්වා, නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සී. දොඩාවත්ත, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාංචන මාරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කුමාර් ලෝපේස්‌ සහ සුකුමාර් රොක්‌වුඩ් යන මහත්වරු ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

ජනවාරි මාසයේ සිට අගෝස්‌තු මස දක්‌වා වූ කාලයේ අනවශ්‍ය වියදම් හා නාස්‌තිය අවම කිරීම නිසා ජනාධිපති කාර්යාලයෙන් පමණක්‌ ඉතිරි කරගත හැකි වූ මුදල රුපියල් මිලියන තුන්සිය විස්‌සක්‌ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

2014 ජනවාරි මාසයේ සිට අගෝස්‌තු මස දක්‌වා එම වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් මිලියන පන්සියයක්‌ වූ බවත් 2015 ජනවාරි සිට අගෝස්‌තු දක්‌වා කාලයේදී වැය වී ඇත්තේ රුපියල් මිලියන එකසිය අසූවක්‌ පමණකැයි ද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නියෝජනය කරමින් පුවත්පත් හිමිකරුවන්, කතුවරුන් හා ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් පිරිසක්‌ ඊයේ (13 දා) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්‌ථාවේදී පෙන්වා දී තිබේ.

එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ කොටුවේ ජනාධිපති මැදුරෙහි පදිංචිය සඳහා තමන් තීරණය කළේ නම් ඒ සඳහා අතිවිශාල මුදලක්‌ වැය කිරීමට සිදුවන නිසා තම නිල නිවස වශයෙන් වෙනත් නිවසක්‌ තෝරාගැනීමට සිදුවූ බවයි.

උදාහරණ වශයෙන් ජනාධිපතිවරයා ලෙස තම පදිංචිය සඳහා ජනාධිපති මැඳුර තෝරාගත්තේ නම් එහි විදුලිය, ජලය සහ නඩත්තු කටයුතු වෙනුවෙන් පමණක්‌ මසකට රුපියල් ලක්‍ෂ 150 කට වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවන බව සඳහන් කළේය.

එහෙත් නිල උත්සව සඳහා පමණක්‌ ජනපති මැඳුර යොදා ගැනීම නිසා අද වනවිට මසකට රුපියල් ලක්‍ෂ 120 ක පමණ මුදලක්‌ ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කරන ලදී.

2014 ජනවාරි මාසයේ සිට අගෝස්‌තු මස දක්‌වා ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක්‌ වැය වී ඇත. එහෙත් 2015 ජනවාරි මස සිට අගෝස්‌තු මස දක්‌වා වැය වී ඇත්තේ මිලියන 180 ක්‌ වන අතර එමඟින් පමණක්‌ ඉතිරිකර ගතහැකි වූ මුදල මිලියන 320 ක්‌ පමණ වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා 2014 වසරේ දී බාහිර ගොඩනැගිලි 20 ක්‌ පමණ කුලී හා බදු පදනම මත භාවිත කර ඇති අතර අද වනවිට එසේ භාවිතයට ගනු ලබන බාහිර ගොඩනැගිලි සංඛ්‍යාව 8 ක්‌ වේ.

එමඟින් සෑම මසකම රුපියල් මිලියන 10 ක පමණ මුදලක්‌ ඉතිරි කරගැනීමට හැකි වී ඇත.

2014 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයට අයත් වාහන වෙනත් ස්‌ථාන සඳහා ප්‍රවාහනයට මිලියන 60 ක පමණ මුදලක්‌ පුද්ගලික ආයතන වෙත ගෙවා ඇති අතර රුපියල් මිලියන 14 ක මුදලක්‌ දරමින් වාහන ප්‍රවාහනය කරනු ලබන ට්‍රක්‌ රථයක්‌ද මිලදී ගැනීම සඳහා කටයුතු යෙදීමෙන් පුද්ගලික ආයතන වෙත ගෙවීමට සිදුවූ සමස්‌ත මුදලම ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ජනපති වැය ශීර්ෂයේ ඇත්ත කථාව මෙන්න..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *