• Mon. Feb 6th, 2023

mahinda rajapaksa

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සිටිනුයේ පතුල නොපෙනෙන මහා අගාධයකට වැටුණු අසරණ තත්ත්වයකය. ඔහු වඩාත්ම භීතියට පත්ව සිටිනවා ඇත්තේ සේනාධිනායකයා වශයෙන් මුහුණ දෙන්නට සිදුවිය හැකි යුද අපරාධ චෝදනා ගැන නොව තමන්ට හා තම පවුලේ සාමාජිකයන්ට දේශීය වශයෙන් එල්ල වී තිබෙන හෝ එල්ලවීමට ඉඩ තිබෙන දූෂණ හා අපරාධ චෝදනා ගැනය. ඔහු නූතන ශ‍්‍රී ලංකාව මෙතෙක් බිහිකර තිබෙන සියලූ නායකයන් අතුරින් නිර්භීතම නායකයා ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවකට ඔහුට තිබුණේ ප‍්‍රඥාවන්ත නිර්භීතභාවයක් වෙනුවට ප‍්‍රඥාවිරහිත නිර්භීතභාවයකි. ඒ නිසා ඔහු හොඳ දේ කරන්නට පමණක් නොව නරක දේ කරන්නටද බිය නොවීය. ඔහු ඉතාමත් කෙටි කාලයක් තුළ අසාමාන්‍ය තරමින් ඉහළ ගිය නායකයකු වනවා පමණක් නොව ඒ තරම්ම වේගයකින් මහ පොළොව මත වෙනුවට ඊටත් වඩා පහළට ගිය මහා අගාධයකට ඇද වැටුණු නායකයකු ලෙද සැලකිය හැකිය.

 

යුදමය වශයෙන් ප‍්‍රභාකරන් පරාජය කිරීම මගින් ඔහු සිංහලයන් අතර නිදහසින් පසු බිහිවූ ලොකුම වීරයා බවට පත්වූයේය. එහෙත් තමන්ට ලැබුණු ඒ වීරත්වය ආරක්ෂා කරගැනීමට ඔහු දැන නොසිටියේය. ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් රට තමන්ට ණයගැතිය, ඒ වෙනුවෙන් රටින් ඕනෑම දෙයක් ඕනෑම තරමකින් හිමිකර ගැනීමේ අයිතිය තමන්ට ඇත කියන උද්දච්ච ආකල්පය ඔහුගේ විනාශය කෙරෙහි බලපෑ ප‍්‍රධානම හේතුව වී යැයි කිව හැකිය. මාගේ මෙම සටහනේ අරමුණ වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳ මගේ අත්දැකීම් කිහිපයක් සටහන් කිරීමය. එය ඔහු දුෂ්කර තත්ත්වයක සිටින අවස්ථාවක ඔහුට පහරදීමේ අරමුණින් කරන්නක් නොවන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. මාගේ එම අත්දැකීම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාධාරණ ලෙස තේරුම් ගැනීම සඳහා සේ ම රටේ තිබෙන අවුල තේරුම් ගැනීම සඳහාද ප‍්‍රයෝජනවත් විය හැකිය.

අගමැති වීමෙන් පසුව පළමු හමුවීම අප දෙදෙනා අතර 80 දශකයේ සිටම දැනහැඳුනුම්කමක් තිබුණි. එහෙත් සමීප ඇසුරක් නොතිබුණි. රාවය කාර්යාලය අත්හැර යන්නට බලකරන තත්ත්වයක් ඇතිවී සුදුසු තැනක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින අවස්ථාවකදී සූරියප්පෙරුම සමග මගේ කාර්යාලයට පැමිණ තමාගේ නිවසක් දෙහිවල ගාලූ පාර අසළ තිබෙන බවත්, අවශ්‍ය නම් ඒ නිවස මට දිය හැකි බවත් කියා සිටියේය. මම ඒ ස්ථානය බලන්නට ගියෙමි. ඒ තැන මගේ සිත්ගත්තද ප‍්‍රබල දේශපාලකයකුගේ නිවසක් රාවයේ කාර්යාලය වශයෙන් යොදා ගැනීම සුදුසු දෙයක් නොවන බව පෙනී ගිය නිසා එම යෝජනාව අත්හැරීමට මට සිදුවිය. 90 දශකය ආරම්භයේදී මා වැඩ කළේ චන්ද්‍රිකා කුමාරතුංග සමගය. චන්ද්‍රිකා හා මහින්ද අතර දේශපාලන පසමිතුරු බවක් තිබුණද ඒ තත්ත්වය මා කෙරෙහි බලනොපෑවේය. අප දෙදෙනා අතර මිත‍්‍රත්වයක් නොතිබුණද ගැටුමක්ද නොතිබුණේය. චන්ද්‍රිකා සමග මා ගැටුම් ඇතිකර ගැනීමෙන් පසුද ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති නොවීය. මහින්ද සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරයට පත්වී ඉනුත් කලකට පසුව ශ‍්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශ වීමෙන් පසුව මහින්දගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඔහු හමුවීම පිණිස අරලියගහ මන්දිරයට යෑමට මට සිදුවිය. එහිදී මහින්ද එන තෙක් වෙනත් අයට නොපෙනෙන ලෙස මා සඟවා තබන ප‍්‍රතිපත්තියක් බැසිල් රාජපක්ෂ අනුගමනය කිරීම මාගේ උත්ප‍්‍රාසයට හේතුවී යැයි කිව හැකිය. පැයකට වැඩි කාලයක් ගතවීත් මහින්ද නොඒම නිසා මට ආපසු එන්නට සිදුවිය. ඉන්පසු කිසියම් දිනක මා ලාල් පියසේනගේ වත්තේ ඇති නිවසේ ආධාරකරුවන් කණ්ඩායමක් සමග රාවය ගැන සාකච්ඡුාවක යෙදී සිටියදී ඩලස් අලහප්පෙරුම මට දුරකතනයෙන් කතා කොට අගමැතිවරයාට මා හමුවීමට අවශ්‍ය බව කියා අරලියගහ මන්දිරයට එන ලෙස කියා සිටියේය. මා නිරත වී සිටිනුයේ රාවය පිළිබඳව කල් තියා සූදානම් කරගනු ලැබූ සාකච්ඡුාවක නිසා එය අතහැර අරලියගහ මන්දිරයට ඒමේ හැකියාවක් නැති බව කීවෙමි. මා එන්නේ මාගේ වැඩකට නොවන නිසා ඇඟ අතපත ගා ශරීරය පරීක්ෂා කරන පිළිවෙතකට මා කැමති නැති නිසා මා සමග සාකච්ඡුා කරන්නේ නම් ඒ සාකච්ඡුාව අරලියගහ මන්දිරයෙන් පිටස්තර තැනක තබා ගැනීම සුදුසු බවද කියා සිටියෙමි. පසුදින අගමැති මහින්ද රාජපක්ෂ මට දුරකතනයෙන් කතා කොට ඔහුද දන්නා මගේ මිතුරකුගේ නිවසක හමුවීමේ ස්ථානය ලෙස මට යෝජනා කළේය. ඒ ස්ථානයේදී හමුවීමට මා මාගේ නොකැමැත්ත පළකරන ලද අතර ඉන්පසු අප දෙදෙනාම දන්නා විකල්ප තැනක් ඔහු යෝජනා කළේය. මම ඊට එකඟ වූයෙමි. එය තුන් දෙනෙකුට සීමාවූ සාකච්ඡුාවක් විය. තුන්වැන්නා වූයේ ඩලස් අලහප්පෙරුමය.

එහිදී සාකච්ඡුාවට ලක්වූයේ මහින්දට ලැබී තිබුණු ජනාධිපති අපේක්ෂකත්වය ගැනය. ලැබී තිබෙන ජනාධිපති අපේක්ෂකත්වය වෙනස් කළ නොහැකි ස්ථිර දෙයක්දැයි මා ප‍්‍රශ්න කළ විට එය චන්ද්‍රිකා කැමැත්තෙන් දෙන ලද දෙයක් නොවන නිසා අහිමි කිරීමේ අවදානමක්ද තිබෙන බව මහින්ද කීවේය. ඒ වනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005ද නැතිනම් 2006ද යන්න විවාදයට හේතුවී තිබුණි. ජනාධිපතිනි චන්ද්‍රිකා සේ ම අගමැති මහින්දද පෙනී සිටියේ 2006 සඳහාය. රනිල් හා එජාපය කියා සිටියේ ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතු බවය. ලබාදී තිබෙන ජනාධිපති අපේක්ෂකත්වය උදුරා ගැනීමේ අවදානමක් ඇත්නම් 2006 පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවට 2005 පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයිදැයි මම මහින්දගෙන් ප‍්‍රශ්න කළෙමි. මාගේ තර්කයේ වැදගත්කම ඔහු වහාම තේරුම් ගත්තේය. සාකච්ඡුාව අවසන් කොට යන්නට ගියේ ජනාධිපතිවරණය 2005දී පැවැත්වෙන ජනාධිපතිවරණයක් බවට පත්කර ගැනීමට කළ හැකි හැම දෙයක්ම කරන බව ප‍්‍රකාශ කරමිනි. අධිකරණයේ පක්ෂපාතීත්වය මහින්ද 2005 අරමුණ සපුරා ගත්තේ ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතුය කියා උද්ඝෝෂණය කරන තැනකට යෑමෙන් නොවේ. පස්සා දොරෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග ගනුදෙනු කරන තැනට යෑමෙනි. 2005 වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට අගවිනිසුරු සරත් නන්ද සිල්වා දෙන ලද තීන්දුව හා ඒ සඳහා පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය චන්ද්‍රිකා අවලංගු කොට මහින්ද කරළියට ගැනීමේ අරමුණින්ම රඟදක්වන ලද නෛතික නාටකයක් ලෙස සැලකිය හැකිය. එම නඩු තීන්දුව ගැන මා මීට පෙර ලියා ඇති බැවින් ඒ ගැන කිසිවක් මෙහිදී කතා නොකරමි. අගවිනිසුරුවරයාටද ජනාධිපති චන්ද්‍රිකා සමග මතභේද තිබූ අතර චන්ද්‍රිකාගේ දේශපාලන පැවැත්ම අහෝසි කොට අලූත් අශ්වයකු පිට නැග ගැනීමට අගවිනිසුරුවරයා එය අවස්ථාවක් කොට ගත්තේය. හෙල්පින් හම්බන්තොට පරීක්ෂණය මහින්දගේ ඉදිරි ගමනට තිබුණු ඊළඟ ලොකුම බාධකය වී යැයි කිව හැකිය. අගවිනිසුරු ඒ බාධකයද ඉවත් කර දුන්නේය. අධිකරණය ඒ වන විටත් ඇද වැටී තිබුණු අශීලාචාරත්වයේ තරම ඒ අනුව සිතාගත හැකිය. 2005 ජනාධිපතිවරණයේදී මා කිසිවකුගේ පැත්ත ගත්තේ නැත. එහෙත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ඉදිරි දැක්ම තේරුම් ගැනීම සඳහා වෙන් වෙන්ව අවස්ථා දෙකකදී එක මූලික ප‍්‍රශ්නයක් ඔවුන් වෙත ඉදිරිපත් කළෙමි.

වාර්තා කිරීම සඳහා නොව මගේ දැනගැනීම සඳහාය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා ජනාධිපතිවරණයෙන් ලබන ජය පරාජය කුමක් වුවත් නායකයන් දෙදෙනා අන්‍යොන්‍ය සහයෝගයෙන් ක‍්‍රියාකරනවාද යන්න මා ඒ දෙදෙනාගෙන්ම අසන ලද ප‍්‍රශ්නය විය. දෙදෙනාගෙන්ම ලැබුණු පිළිතුරු මගේ තෘප්තියට හේතු නොවීය. එම ජනාධිපතිවරණය මට පෙනුණේ ළඟ ළඟ තරගයකින් ජයගැනීමේ වැඩි හැකියාව රනිල්ට තිබෙන බවය. එහෙත් ප‍්‍රභාකරන් පනවන ලද ඡුන්ද තහනම නිසා ළඟ ළඟ තරගයකින් ජයගැනීමේ හැකියාව මහින්දට ලැබුණි. ප‍්‍රභාකරන් හා මහින්ද මහින්ද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පළමුවරට මට හමුවූයේ 2006 ජූනි 15 වැනිදා කොටි සංවිධානය කැබිතිගොල්ලෑවේදී මගී බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කෙරුණු දිනයේදීය. එම ප‍්‍රහාරයෙන් ප‍්‍රහාරයට හසුවූ බස් රථයේ ගමන් ගත් මගීන් 64 දෙනකු මරණයට පත්වී තිබුණි. එදින සවස හතට පමණ මට ඩලස් අලහප් පෙරුමගෙන් දුරකතන පණිවුඩයක් ලැබුණි. ජනාධිපතිවරයාට මා හා වරුණ කරුණාතිලක හමුවීමට අවශ්‍ය වී තිබෙන බවත් රාත‍්‍රී 8ට එහි යන ලෙසත් ඔහු කියා සිටියේය. අප එහි ගිය විට අප දෙදෙනා පරීක්ෂාවකට ලක්කිරීමකින් තොරව ජනාධිපතිවරයා පදිංචි වී සිටි දෙවැනි මහලට යාමට අවශ්‍ය සියලූ විධිවිධාන යොදා තිබුණි. ජනාධිපතිවරයා කැබිති ගොල්ලෑවේ සිදුවූ සිද්ධිය බලන්නට එදින එහි ගිය බවද අපි දෙදෙනාම දැන සිටියෙමු. අප එහි යනවිට ජනාධිපතිවරයා සුව පහසු අසුනක තනිවම අසුන් ගෙන සිටි අතර ඒ අසළ තිබූ මේසයක් මත නොකැඩූ ශිවාස් රීගල් විස්කි බෝතලයක් වීදුරු දෙකක් සමග තිබෙන බවද පෙනෙන්නට තිබුණි.

ජනාධිපතිවරයා අප දෙදෙනා සුහදව පිළිගෙන මුලින්ම කීවේ මට බලය ඇතත් අදහස් නැති බවත්, ඔබ දෙදෙනාට බලය නැතත් අදහස් තිබෙන බවත්ය. එහි සිටි නාවුක හමුදාවේ සේවය කළ පුද්ගලයකු විසින් විස්කි බෝතලය කඩා අපට පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී බොන්න දෙනවා නම් දුම්බීමටද ඉඩදීම සුදුසු බව මම කියා සිටියෙමි. කිසිදු ප‍්‍රශ්නයක් නැති බව කී ජනාධිපතිවරයා අපට අළු බඳුන් දෙකක් ගෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මුළුමනින් මත්පැන් බීමෙන් අත්මිදුණු කෙනෙකු නොවූවද එදින එහි සිදුවූ අඩි ගැහිල්ලට ජනාධිපතිවරයා දායක වූයේ නැත. ජනාධිපතිවරයා පළමුව තමන් කැබිතිගොල්ලෑවේ ගිය ගමන ගැන කතා කළේය. ඉන්පසු අපි ආරම්භවෙමින් තිබූ යුද්ධය ගැන කතා කරන තැනකට ආවෙමු. මට මොන යම් හේතුවක් නිසා හෝ මේ පිළිසඳර අතර මැද්දේ කිසියම් මොහොතක ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනුණේ ප‍්‍රභාකරන්ට සමාන පෙනුමකින් යුතු කෙනෙකු ලෙසය. ජනාධිපතිට යුද ඇඳුම් අන්දවා හිසට යුද්ධ කැප් තොප්පියක්ද පැළැන්දවුවහොත් ජනාධිපති හා ප‍්‍රභාකරන් සමාන පෙනුමකින් යුතු දෙදෙනකු වනු ඇතැයි මට සිතුණි. මට ඒ මොහොතේදී ඇතිවූ හැඟීම වසන් කළ නොහැකිවූ අතර උතුරේ වැල්වැටිතුරෙහි දෙමළ ප‍්‍රභාකරන්ට දකුණේ මැදමුලනෙන් සිංහල ප‍්‍රභාකරන් කෙනෙකු අභිමුඛ වන තත්ත්වයක් තුළ එළැඹෙන යුද්ධය ඉතා භයානක මහා පරිමාණයෙන් සිදුවන යුද්ධයක් බවට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇති බව කීවෙමි. ප‍්‍රභාකරන්ට සිය නිවසේ ලොකු බංකරයක් තිබෙන නිසා ජනාධිපතිතුමාද අරලියගහ මන්දිරයේ ලොකු බංකරයක් හදාගැනීම සුදුසු බවද කීවෙමි.

මාගේ එම කියමන ජනාධිපතිවරයාගේ කුතුහලයට හේතුවන්නට ඇතත්, කෝපයට හෝ අප‍්‍රසාදයට හේතු නොවීය. අපි එදින රාත‍්‍රී 11 පමණ තෙක් කතා කර කර සිටියෙමු. ඉන්පසු රාත‍්‍රී ආහාරය ගෙන ජනාධිපතිවරයාට සුබ පතා අරලියගහ මන්දිරයෙන් නික්ම ආවෙමු. සමාජ-දේශපාලන ක‍්‍රමයේ කුණුවීම ඒ හමුවීමෙන් පසුව ජනාධිපතිවරයා ඉඳහිට මට දුරකතනයෙන් කතා කළේය. එසේ කළේ ජනාධිපතිවරයා තමාගේ අදහස් මා වෙත පළකිරීම සඳහා හෝ සමහර දේවල් පිළිබඳව මගේ අදහස් දැනගැනීමට සඳහාය. 2005 වසර වන විට මා එල්ටීටීඊය පිළිබඳව ඇති කරගෙන තිබූ මතය වූයේ කවර ආකාරයකින්වත් වෙනම රාජ්‍යයක් සඳහා කරන ප‍්‍රචණ්ඩ අරගලය අත්හැරීමට සූදානම් නැති ඒ නිසා යුදමය වශයෙන්ම පරාජය කළ යුතුව තිබෙන විනාශකාරී ව්‍යාපාරයක් ලෙසය. ප‍්‍රභාකරන් ප‍්‍රඥාවන්ත වී නම් ඔහු සන්නද්ධ අරගලය අත්හැරිය යුතුව තිබුණේ රනිල් වික‍්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩු කාලයේදීය. ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අශීලාචාර සමාජ දේශපාලන වටාපිටාව තුළ සමාජ-දේශපාලන ක‍්‍රමය හොඳම කුණු වූ තත්ත්වයකට පත්ව තිබුණු අතර එම අශීලාචාර තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම සඳහා එල්ටීටීඊ සන්නද්ධ අරගලය පරාජය කිරීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වේයැයි මගේ විශ්වාසය වී තිබුණි. මට මහින්ද පෙනුණේ එල්ටීටීඊය පරාජය කිරීමේ හැකියාව තිබෙන නායකයකු ලෙසය. ඒ නිසා ඔහු කරන යුද්ධයට මතවාදී වශයෙන් ආධාර කරන්නකුගේ තත්ත්වයට මා පත්ව සිටියේයැයි කිව හැකිය. ඒ වනවිට එල්ටීටීඊය ඓතිහාසික වශයෙන් ජරාජීර්ණ තත්ත්වයකට යමින් තිබූ ව්‍යාපාරයක් බවට පත්ව තිබුණු අතර එම තත්ත්වය තුළ ඔවුන්ට එරෙහිව ආරක්ෂක හමුදා ආරම්භ කොට තිබෙන යුද්ධයෙන් එල්ටීටීඊය අනිවාර්යයෙන්ම පරාජය වනු ඇති බව 2007 ආරම්භයේ සිටම මා ප‍්‍රසිද්ධියේ පළ කළ මතය විය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග ලංකාව මුහුණ දී තිබුණු අර්බුදය විසඳෙනු ඇතැ’යි මම විශ්වාස නොකළෙමි. මාගේ මතය වී තිබුණේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව සමාජ-දේශපාලන ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට හේතුවන ප‍්‍රතිසංවිධානයක් ඇතිකර ගැනීමට ලංකාව අසමත් වෙතොත් එවැනි තැනකට යෑමට බලකෙරෙන පරිපූර්ණ අර්බුදයකට ශ‍්‍රී ලංකා රාජ්‍යය තල්ලූ වී යනු ඇති බවය.

2008 පෙබරවාරි 10 වැනිදා ‘යුද්ධයේ කෙළවර කුමක්ද?’ යන හිසින් රාවයට ලියන ලද ලිපියක මා මෙසේ ලියා තිබුණි. ‘ඓතිහාසික අර්ථයෙන් ගත් විට මහින්ද රාජපක්ෂ සිටිනුයේ වැඩි වාසිදායක තත්ත්වයක වුවද ඔහු සටන් කළ යුතුව තිබෙන්නේ ප‍්‍රභාකරන් මෙන් සාහසිකව නොව දෙමළ ජනයා පිළිබඳව සානුකම්පිත හැඟීමකින් යුතුවය. ඔවුන්ට සිංහල ජනයාගෙන් අයුක්තියක් සිදුවී ඇති බව පිළිගනිමින් එම වැරැුද්ද නිවැරදි කිරීම මගින් වර්ග, ආගම් හා කුල අනුව බෙදී සිටින ජනයා සමාන අයිතිවාසිකම් ඇති ලාංකික ජාතියක් ලෙස එකට ඒකරාශි කිරීමේ උදාර අරමුණ ඇතිවය. ගෞරවනීය නායකයකු ලෙස ඔහුගේ නම ඉතිහාසයට එකතු වනු ඇත්තේද එසේ කිරීමට සමත් වේ නම් පමණය. එසේ නොවේ නම් ඔහුද අන් සියලූ නායකයන් මෙන් බලය අහිමිවීමෙන් පසුව යනු ඇත්තේ ඉතිහාසයේ කුණු කූඩයටය.’ යුද්ධයෙන් ආරක්ෂක හමුදා ලබන ජය ගැන මට සැකයක් නොතිබුණද ඉන්පසු වෙන්නට යන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලිභාවයක් නොතිබුණි. මහින්ද වීරයකු වීම අවසානයේ යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිංහල ජනතාවගේ වන්දනාමානයට හේතුවන තරමේ ලොකු වීරයකු බවට පත් කළේය. යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය මගේද සංතෝෂයට හේතුවූ කරුණක් වී තිබුණද රට ප‍්‍රතිසංවිධානයකට ලක් කරන දැක්මක් යුද ජයග‍්‍රහණයෙන් පසු ආණ්ඩුව කෙරෙන් පළ නොවීම මාගේ හිත් වේදනාවට හේතුවී තිබුණු කරුණක් වී තිබුණි. යුද්ධය ජයගැනීමෙන් පසු ප‍්‍රතිසංවිධානයක අවශ්‍යතාව නොසලකා එක්සත් ජාතීන් සමගද, ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් සමගද රණ්ඩු කරන තැනකට ආණ්ඩුව තල්ලූ වෙමින් සිටියේය. මා ලියන ලිපි මගින් ආණ්ඩුවේ එම ප‍්‍රතිපත්තිය විවේචනයට ලක් කරන ලද අතර ඉඳහිට හෝ ජනාධිපතිවරයා කතා කරන අවස්ථාවලදී ඒ බව තේරුම් කරදීමටද මා නිශ්ඵල උත්සාහයක නිරතවීයැයි කිව හැකිය.

මා ජනාධිපතිවරයාට දෙන්නට උත්සාහ කළ පණිවුඩය වූයේ ජාත්‍යන්තරය සමග රණ්ඩු කරන ප‍්‍රතිපත්තියෙන් ඉවත් වී ඔවුන්ගේද රටේ විරුද්ධ පක්ෂවලද සහාය ලබාගනිමින් කැබලි වී තිබෙන ජාතිය නැවත ගොඩනගා ගත හැකි ආකාරයට රටේ සමාජ දේශපාලන ක‍්‍රමය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කරන ලෙසය. එසේ නොකළහොත් ජනාධිපතිවරයාට ලැබී තිබෙන වීරත්වයද ඉක්මනින් වාෂ්ප වී යන තත්ත්වයකට පත්වනු ඇති බව කියන්නටද මම මැලි නොවීමි. ජනාධිපතිවරයා මා ලියන දේවල් කියවන බව පෙනෙන්නට තිබුණු අතර සමහරවිට එම ලිපිවල එන අදහස් ගැන දුරකතනයෙන් කතා කළ අවස්ථාද තිබුණි. කිසියම් දිනක හිමිදිරි උදේ ජනාධිපති මන්දිරයේදී ලලිත් වීරතුංගද සහභාගි වූ සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා සමග කල්ලි ගැසී සිටින වැඩි පිරිසක් අන්ත දූෂිතයන් බවට මම චෝදනා කළෙමි. ඔවුන් දැනටමත් පරම්පරා ගණනකට සෑහෙන තරම් ධනයක් උපයාගෙන ඇති බැවින් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් අත්මිදී රට දෙස බලන ලෙසත්, එවිට යථා තත්ත්වය තේරුම් ගැනීමට හැකිවනු ඇති බවත් කියා සිටියෙමි. මේ සාකච්ඡුාව අවසන් වී මා වාහනයෙන් රාවය කාර්යාලයට යමින් සිටියදී ලලිත් වීරතුංග මගේ ජංගම දුරකතනයට කතා කොට ‘මේ ආකාරයට තමාගේ මූණටම දේවල් කිව හැකි එකම පුද්ගලයා මා පමණක් විය හැකි’ බව මා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජනාධිපතිවරයා තමාට කී බව කියමින් ප‍්‍රතිසංවිධානයක් සඳහා කෙරෙන සංවාදය නොකඩවාම කරගෙන යන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. සරත් ෆොන්සේකා ගැන යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව ලොකු වීරත්වයක් හිමි කරගෙන සිටි යුද්ධයේදී යුද හමුදාපති ලෙස ක‍්‍රියා කළ ජෙනරාල් සරත් ෆොන්සේකා හා ජනාධිපති මහින්ද අතර ගැටුමක් ඇති කිරීමට හේතුවන වටාපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බව මට දැනගන්නට ලැබුණි. සරත් ෆොන්සේකා විශාල අතෘප්තියකින් පසුවන බව හා එම තත්ත්වය මෙම වීරයන් දෙදෙනා අතර මහා ගැටුමක් ඇති කිරීමට හේතුවන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද මට දැනගන්නට ලැබුණි.

ඒ වනවිට මෙම භේදය ප‍්‍රසිද්ධ කරළියට පැමිණ නොතිබුණේය. මේ ගැන ජනාධිපතිගෙන් කරන ලද කරුණු විමසීමකදී ඔහු එකහෙළා කියා සිටියේ සරත් ෆොන්සේකා හා තමා අතර කවර ආකාරයක හෝ මතභේදයක් නැති බවය. ඔහු හා ඔහුගේ බිරිඳ හැම බදාදා දිනකම හමුවන බවත් සරත් ෆෝසේකා සමග තිබෙන සම්බන්ධය ඉතාමත් යහපත් තත්ත්වයක තිබෙන බවත් කියා සිටියේය. ප‍්‍රභාකරන් ජීවත් වූ නිිවස හා එල්ටීටීඊයට අදාළ වැදගත් ස්ථාන ඇතුළත් වන ලෙස කෞතුකාගාර සංකීර්ණයක් ඇති කිරීම සුදුසු බවත් එසේ නම් එය ඓතිහාසික වටිනාකමක් ඇති කෞතුකාගාරයක් වනවාට අතිරේකව රටට ආදායම් උපයා දෙන ස්ථානයක් බවට පත් කරගත හැකි බවද මම එම කතාව අස්සේම ජනාධිපතිවරයාට කියා සිටියෙමි. ඊට ජනාධිපති දෙන ලද පිළිතුර වූයේ එහි තිබෙන වැදගත්කමක් ඇති සියලූ දේ පනාගොඩ හමුදා කඳවුරට යැවීම සඳහා ක‍්‍රියාකරමින් තිබෙන බවය. ජෙනරාල් ෆොන්සේකා පිළිබඳව එම කතාව කතා කොට තවත් ටික දිනකට පසුව (ඒ වනවිටත් ඒ ගැටුම ප‍්‍රසිද්ධ කරළියට පැමිණ තිබුණේ නැත.) කිසියම් දිනක හිමිදිරි උදයේ ජනාධිපති මට දුරකතනයෙන් කතා කොට සරත් ෆොන්සේකා පිළිබඳව මා කියන ලද කතාව සත්‍යයක් බව කියමින් බුද්ධි අංශය භාරව ක‍්‍රියාකරන ගෝඨාභයටත් කලින් ඒ දේ මා දැනගැනීම තමාගේ පුදුමයට හේතුවූ බවද කියා සිටියේය. මේ දෙදෙනා අතර ගැටුම කරළියට ඒමෙන් පසුව හා තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ජෙනරාල් ෆොන්සේකා ප‍්‍රකාශ කිරීමෙන් පසුව ජෙනරාල් ෆොන්සේකාට තරග බිමට ආ හැක්කේ සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිගේ නිල අනුමැතිය ලැබුණොත් පමණක් බව හා බොහෝවිට ඔහුට තරග කිරීමට ජනාධිපතිවරයා නිල අනුමැතිය ලබාදීමෙන් වැළකී සිිටිනු ඇතිය කියන මතයක් පැතිරෙමින් තිබූ අවස්ථාවකදී ජනාධිපතිවරයා මට කතා කළේය. මට ලැබුණු ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ජෙනරාල් ෆොන්සේකාට තරග කිරීමට අවශ්‍ය අනුමැතිය දෙන්නේදැයි මම ජනාධිපතිවරයාගෙන් අසා සිටියෙමි. ඔහුට තරග කිරීමට අවශ්‍ය නම් තමා ඊට බාධා නොකරන බව කියා සිටිමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරගයෙන් ෆොන්සේකා ජයගතහොත් තමාට හිමි ඉරණම කුමක්දැයි තමා දන්නා බවත්, තරගයෙන් තමා ජයගතහොත් ෆොන්සේකාගේ බෙල්ලෙන් අල්ලා ගන්නා බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගෙන් ඒ මොහොතේ අසන්නට ලැබුණු කතාව ඍජු ලෙස හෝ අනියම් ලෙස හොඳ ලොකු ප‍්‍රවෘත්තියක් බවට පත්කර ගැනීමේ හැකියාව මට තිබුණද මම එසේ නොකළෙමි. මේ ආකාරයෙන් කෙරෙන කතාබහවලදී අසන්නට ලැබෙන ප‍්‍රවෘත්ති වැදගත්කමක් ඇති කිසිවක් මා ප‍්‍රවෘත්ති බවට පත්කර ගත්තේ නැත. මෙම යුද වීරයන් දෙදෙනා අතර සිදුවන්නට නියමිතව තිබූ රාජකීය තරගයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පහසු ජයග‍්‍රහණයක් අත්පත් කරගනු ඇති බව මගේ විශ්වාසය විය. යුද බිමේ සිට උණු උණුවේම දේශපාලන කරළියට එන ජෙනරාල්වරයකු රටේ පාලකයා වනවාට වඩා බරපතළ සීමාසහිතකම් තිබියදීත් නැවත වරක් මහින්ද බලයට පත්වීම යහපත් වනු ඇති බවද මගේ විශ්වාසය විය. එහෙත් එම දෙවැනි ධුර කාලය තුළ මහින්දගේ වසන්ත කාලය අවසන් වනු ඇති බවද මගේ මතය විය.

– වික්ටර් අයිවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *