• Sun. Jan 29th, 2023

budget 2015ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්‍ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්‌තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 30665 ක්‌, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18597 ක්‌, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 17407 ක්‌, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහා රුපියල් කෝටි 4492 ක්‌, විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයුම් හා සංවර්ධන වියදම් සඳහා රුපියල් කෝටි 12649 ක්‌ ඇස්‌තමේන්තුගත කර ඇත.

2016 වසරේ රජයේ සමස්‌ත වියදම රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අනූහාරදහස්‌ එකසියයකි. (194100) කි.

ලබන වසර සඳහා ජනාධිපතිවරයාට රුපියල් කෝටි 239 ක්‌, අගමැතිවරයාට රුපියල් කෝටි 48 ක්‌, පාර්ලිමේන්තුවට රුපියල් කෝටි 219 ක්‌, විපක්‍ෂ නායකට රුපියල් කෝටි 8 ක්‌, මැතිවරණ දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 358 ක්‌ වෙන්කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 10783 ක්‌, ප්‍රවාහන අමාත්‍යාංශයට රුපියල් කෝටි 5953 ක්‌, මහ නගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2227 ක්‌, කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් කෝටි 5420 ක්‌ වෙන්කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1219 ක්‌ වෙන්කර ඇත.

ලබන වසරේදී ණය වශයෙන් ගන්නා මුදල රුපියල් කෝටි එක්‌ලක්‍ෂ තිස්‌හතර දහස්‌ නවසීයට සීමා කරන බව ද විසර්ජන පනත් කෙටුම්පතෙහි දක්‌වා ඇත.

ලබන වසරේ ආණ්‌ඩුවේ සමස්‌ත වියදම වන රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අනූහතර දහස්‌ එකසීයක මුදල පියවා ගන්නා ආකාරය පිළිබඳව ලබන මස 20 වැනිදා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවන්හිදී ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *