• Fri. Feb 3rd, 2023

රජගෙදර රාජකීය බංකරය ගැන පා.මන්ත්‍රි මහින්ද රාජපක්ෂ කතා කරයි

 

mahinda rajapaksa mpරජ ගෙදර සැප ගන්න සුපිරි බංකරයක් හැදුවේ නෑ. යුද්ධය තිබූ වකවානුව අමතක කරන්න එපා. ප්‍රභාකරන් ගුවනින් කොළඹට පහර දෙනවිට ආරක්ෂක මණ්ඩලය රැස්වුණේ ජනාධිපති මන්දිරයේ බංකරයක යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කළේය.

“අපි ගුවනින් පහර දෙන නිසා ප්‍රභාකරන් බංකර හදා ගත්තා. ප්‍රභාකරන් ගුවනින් පහර දෙන්න පටන් ගත් විට අපිත් බංකර් හදා ගත්තා.නැතිව මැරෙන්නද කියන්නේ යැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කෙළේය.මේවාට මුදල් වැයවෙනවා තමයි. ඒවා භාරව හිටියෙ මම නොවෙයි. මේ සිදුවීම්වලට වැරැදි අර්ථකථන දෙන්න එපා යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

“මේක මන්දිරයක් නොවේ. බංකරයක්. බංකරයක් හදන්න අපිට උපදෙස් ලැබුණා. අපේ ආරක්ෂක රැස්වීම පැවැත්වූ අවස්ථාවක, ආරක්ෂක මණ්ඩලය යම් අනතුරකට මුහුණ දීමට සිදුවුවහොත් වහාම බංකරේ ඇතුළෙ වුණත් ඉඳගෙන ඒ කටයුතු කරන්න පුළුවන් ආකාරයේ ස්ථානයක් මේක. ඒක ඇත්තටම පිටට පේන්නේ නිවෙසක් වගේ. එහෙමනේ බංකර් හදන්නේ. මේක හදලා හුඟක් කල්. යුද්ධ කාලේ අපිට ගුවනින් ඇවිත් ගහපු කාලයේ දැන් ප්‍රභාකරනුත් බංකර් හදාගෙන හිටියනේ. ඒක හොඳයි. හරි සන්තෝෂයි ඒකට යුද්ධ කාලේ ගතවුණු හැටි දන්නේ අපිනේ.

එතකොට අපි බංකර් මෙහෙ හදා ගත්තා. මොකද උඩින් අපිට බෝම්බ ගැහුවනේ. දැන් ඔක්කෝටම මේක අමතකයි. තරුණයෝ දන්නෙත් නෑ මේවා. හුඟක් තරුණයන්ට අමතක වෙලා. අහසින් ඇවිත් ගුවන් යානා යොදා ගෙන බෝම්බ ගැහුවා කියලා.කොළඹට ගැහුවා. ඉතින් අපිත් ඒකට සූදානම් වුණා. ගුවන් යානාවලින්, නැව්වලින් ප්‍රහාර ක්‍රියාත්මක කරනවා කිව්වම අපිත් සූදානම් වුණා. බොහොම පැහැදිලියි. කෙළින්ම ගහනවා නම් ගහන්නේ ජනාධිපති මන්දිරේටනේ. මන්දිරේනෙ මම හිටියේ. මේ සාකච්ඡා පැවැත්වූවේ මන්දිරේනේ. මේකට ගිය වියදම් මම දන්නෙ නෑ. මොකද ඒවා කරන්නේ මම නෙමේනේ. අවශ්‍ය දේ ඉටු කළා. අරලිගහ මන්දිරෙන් තියනවා මෙහෙම ඒවා. එහෙම සැඟවී සිටින තැන් තව තියෙනවා.බංකරයක් තියනවා, අහවල් තැන තියෙන්නේ කිය කියා ඇවිදින්නෙ නෑනේ. ඒකට ගහපිය කියලා කියන්නේ නෑනේ. අපි ගහන හින්දා උන් බංකර් හැදුවේ. උන් ගැහුවා. උන් බංකර් හැදුවා. උන් ගැහුවා. අපිත් බංකර් හැදුවා. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ.? “

ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ අවස්ථාවේදී ඔහු මෙසේ අදහස් පළ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *