නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදු සීමාව හා ලංකාවේ මුහුදු සීමාව අතරදී අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නෞකාවේ තිබි හමුවූ ටී56, 84එස් හා එල්.එම්.ජී. අවි 816 සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම අවි රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට රහස් පොලීසිය තීරණය කර ඇත.
මෙම නෞකාවේ තිබි හමුවූ ආයුධ අතර අංක මකා දැමූ ආයුධ තිබූ බවට නාවික හමුදාව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙම අවි රජයේ රස පරීක්ෂකවරයාට යොමු කෙරේ. නාවික හමුදාව පවසා ඇත්තේ ආයුධ 59ක අංක මකා දමා ඇති බවය. එහෙත් රහස් පොලීසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ආයුධ 37ක පමණක් අංක මකා දමා තිබෙන බවය. මකා දැමුණු අවිවල අංක ආයුධයේ වෙනත් තැනක තිබෙන නිසා එය ගැටලුවක් නොවන බව රහස් පොලීසියේ අදහස වී ඇත.
මේ නිසා මෙම අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
(ගයාන් කුමාර වීරසිංහ – සංජය නල්ලපෙරුම)