• Tue. Feb 7th, 2023

"ගාල්ල – මාතර" හැදුවේ මෙහෙමයි.

galle - matara

කොළඹින් ගමන් ආරම්භ වීමට නියමිත බස්රථයක කොන්දොස්තරවරයා “නඟින්න… නඟින්න… ගාල්ල… මාතර” යනුවෙන් කෑගසයි. ඒ; බස්රථයට මඟී එකතු කරගැනීමටය. කොන්දොස්තරවරයා වයස අවුරුදු 25 ක පමණ සිහින් සිරුරක් හිමි තරුණයෙකි. බස්රථයට ගොඩවීමට පැමිණෙන සුන්දර යුවතියකි. ඇය දුටු විගසම කොස්දොස්තරවරයාට ඇතිවන්නේ ප්‍රේමණීය හැඟීමකි. “අයියේ… මට ගාල්ලෙදි කියන්න…” තරුණිය කොස්දොස්තරවරයාට කියයි. කොන්දොස්තරවරයාගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. කෙසේ හෝ තරුණිය කියූ පණිවුඩය කොන්දොස්තරවරයාට සිහිපත් වන්නේ මාතරත් පසුකළ විටය. මගීන්ගේ විරෝධතා මැද බසය නැවත හරවා ගාල්ලට පැමිණ, “නංගී… ගාල්ලට ආවා” යැයි කොන්දොස්තරවරයා තරුණියට පවසයි. තරුණිය බසයෙන් බැස ගොස් බිස්කට් පැකට් එකක් රැගෙන පැමිණ “අයියාටත් එකක් දෙන්නදැයි” කොන්දොස්තරවරයාගෙන් අසයි. කොන්දොස්තරවරයාට ඇතිවන්නේ මහත් ලැජ්ජාවකි.

ඒ, මේ දිනවල ඉතා ජනප්‍රිය රූපවාහිනී දැන්වීමක පෙළගැස්මය. සියුම් උපහාසයත් හාස්‍යයත් මෙම දැන්වීමේ සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම දැන්වීම නිර්මාණය වූ ආකාරයත් ඒ සඳහා පසුබිම් වූ තොරතුරු පිළිබඳව සොයා බැලුවේ එම දැන්වීම කෙරෙහි රූපවාහිනී ප්‍රේක්ෂකයින් තුළ ඇති ආකර්ෂණීය බව නිසාමය. එහිදී අප මුලින්ම කරුණු විමසා සිටියේ මැලිබන් ආයතනයේ ක්‍රීම් ක්‍රැකර් කාණ්ඩ කළමනාකාරවරයා වන කසුන් තොටගමුව ගෙනි.

“අපේ අලුත්ම නිෂ්පාදනය වෙළෙඳ පොළට හඳුන්වා දෙන්න හොඳම මාර්ගය අපි සෙව්වා. ඒ සඳහා සාමාන්‍ය මහජනතාවට ගැළපෙන ඔවුන්ට විනෝදාස්වාදයක් සැපයෙන නැවුම් බවකින් යුතු වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය අපට ඇතිවුණා. ඒ සඳහා වෙළෙඳ දැන්වීම් ආයතන 4කට අප දන්වා සිටියා. වෙළෙඳ දැන්වීම පිළිබඳ පිටපත් ලබා දෙන ලෙස. එලෙස ලැබුණු පිටපත් හතර සමාජයේ අපේ බිස්කට් නිතර ගන්නා පාරිභෝගිකයින් පිරිසක් වෙත ලබා දුන්නා.

ඒ දැන්වීම් පිළිබඳව ඔවුන්ගේ කැමැත්ත අප විමසා සිටියා. එහිදී අති බහුතරයක් කැමැති වුණේ මෙම වෙළෙඳ දැන්වීමේ පිටපතට. TAL දැන්වීම් ඒජන්සිය වෙනුවෙන් මෙම පිටපත රචනා කළේ කසුන් වනිගරත්න නම් දක්ෂ පිටපත් රචකයා. එම පිටපත රූප මාධ්‍යයට නිර්මාණය කිරීමේ වගකීම අප පැවරුවේ Sky entertainment ආයතනයේ තිලාන් කුරේට. ඔහු ඔහුගේ නිර්මාණ කාර්ය ඉතා මැනවින් සිදුකළා. බොහෝ විට ක්‍රීම් ක්‍රැකර් වැනි බිස්කට් වර්ගයක් කන්නේ තරමක් වයස්ගත උදවිය. මෙම බිස්කට් වර්ගය තාරුණ්‍ය වෙත සමීප කිරීමේ වුවමනාවක් ආයතනය පැත්තෙන් අපට තිබුණා.

අනතුරුව අප කරුණු විමසා සිටියේ මෙම දැන්වීමේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා වන තිලාන් කුරේ ගෙනි. “මගේ අතට ලැබුණු පිටපතට මගේ නිර්මාණශීලී දායකත්වයත් එක්කරමින් සාධාරණයක් ඉටුකරන්නේ කෙසේ ද කියා මම කල්පනා කළා. මීට බොහෝ කලකට පෙර සමාජයේ ජනප්‍රිය වුණු කතාවක් තියෙනවා ආච්චි කෙනෙක් සහ බස් කොන්දොස්තර වරයෙක් ගැන. කොළඹින් ගාල්ලට යන බස්රථයකට ගොඩවන ආච්චි “පුතේ මට කළුතර බෝධිය ළඟදි කියන්න” කියලා කියනවා. නමුත් කොන්දොස්තරවරයාට ආච්චිගේ පණිවුඩය මතක් වෙන්නේ කළුතර බෝධිය පසුවී බොහෝ දුරක් ගිය පසුවයි. එහෙත් ආච්චි ගැන දුක හිතෙන බස් රථයේ සේවකයින් නැවත කළුතර බෝධිය අසලට පැමිණ ආච්චියේ කළුතරට ආවා යැයි පවසා තිබෙනවා. එවිට තම ගමන් මල්ලෙන් බෙහෙත් පෙත්තක් ගත් ආච්චි එය වතුර ටිකක් සමඟ කටේ දමාගෙන “හරි පුතේ දැන් යං” යැයි කියා තිබෙනවා. මෙම සිදුවීම තුළ සියුම් හාස්‍යයක් ගැබ්වෙලා තියෙනවා. එම අතීත කතාව මෙම දැන්වීම නිර්මාණයේදී භාවිත වෙලා තියෙනවා.”

“තරුණ වයසේ එක් යුගයකදී තමන්ගේ තත්ත්වය පිළිබඳව තමන්ට නොවැටහෙන ස්වභාවයක් ඇතැමුන්ට ඇතිවෙනවා; විශේෂයෙන්ම තරුණයන්ට. එය සාමාන්‍ය දෙයක්. එහිදී ඉතා පොහොසත්, ඉතා රූමත් ජනප්‍රිය තරුණියන්ට සිතින් ප්‍රේම කිරීමට පෙලඹෙනවා. එම හේතුව නිසා ඇතැම් විටෙක එම තරුණයා සමාජයේ හාස්‍යයට ද ලක්වෙනවා. තාරුණ්‍ය සතු ඒ ගති ස්වභාවය ද ඉස්මතු කරන්න මෙම දැන්වීම නිර්මාණයේදී මම උත්සාහ ගත්තා.

මෙම දැන්වීමේ කොන්දොස්තර තරුණයා ලෙස රඟපාන්නේ චම්පික ප්‍රියදර්ශන. ඔහු දක්ෂ රංග ශිල්පියෙක්. ගිෂානි නවදගල මෙම දැන්වීමට රංගනයෙන් දායක වන තරුණිය. චම්පික මීට පෙර දැන්වීම් කීපයකටම දායක වී ඇති මුහුණින් ඉතාම හොඳින් හැඟීම් ප්‍රකාශ කළ හැකි රංගන ශිල්පියෙක්. ගිෂානි මෙතෙක් කිසිම රංගන කාර්යයකට දායක වී නැති, පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි යුවතියක්.

“මෙම දැන්වීමේ රූපගත කිරිම් සිදු කෙරුණේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ, ගාල්ල මාතර මාර්ගයේ ඇතැම් ප්‍රදේශවල. මෙහි බසයේ සිටින මගීන් අපි කොළඹින් කැඳවාගෙන ගිය අය. එක දවසින් රූපගත කිරිම් නිම කරන්න නියමිතව තිබුණත් වැඩේ කරගන්න බැරි වුණා. ඒ නිසා පුංචි කොටසක් දෙකක් පිළියන්දල ප්‍රදේශයේ පාරක රූපගත කිරීම් කළා. එහිදී පාර අයිනේ මාතර නගරය යනුවෙන් දැක්වෙන බෝඩි එක ගහල රූපගත කිරීම් කළා. බස් රථයේත් යොදා තිබුණේ මාතර පුවරුව නිසා එතැනින් ගමන් කළ ඇතැම් වාහනවල සිටි උදවිය තමන්ට පාර වැරැදි ඇතිදැයි විමසීමත් අපට ඉතා විනෝදජනක අත්දැකීමක් වුණා.”

(ගාමිණී සුසන්ත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *