නව රජයේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කිරීමේ නිදහස ශක්තිමත් වී ඇතැයි ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් අනාවරණ කරයි.
එම වාර්තාව අනාවරණ කරන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාලය පරිහරණය කිරීමේ නිදහස සැළකීමේදී තමන් ලබාදුන් ලකුණු සියයෙන් හතලිස් හතක් හිමිකරගෙන ඇති බව ය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලකුණු පනස් අටක් ලබා පසුගාමී ස්ථානයක පසුවිය.
නිව්යෝර්ක් නගරය මූලස්ථානය කොටගත් ෆ්‍රීඩම් හවුස් නැමති ජාත්‍යන්තර සංවිධානය රටවල් 65 ක් ආශ්‍රීතව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
එම වාර්තාව පවසන්නේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් ඔහු අත්කර ගෙන ඇති ප්‍රගතියත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස ශක්තිමත් වීමට හේතු වී ඇති බව ය.
මෙම සංගණනයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙබ් අඩවි තහනම් කිරිම, මාධ්‍යවේදින් බිය ගැන්වීම ඇතුළු පැවති රජය ගත් දරුණු ක්‍රියාමාර්ග වලින් බැහැර ව කටයුතු කිරිම ද මෙම ප්‍රගතියට හේතු වී ඇතැයි එහි සඳහන් ය.
ෆ්‍රීඩම් හවුස් සංවිධානයට අනුව පසුගිය වසර තුළ මෙරට මානව හිමිකම් උල්ලංඝණය කිරිම්, ප්රචණ්ඩ ක්‍රියා සහ බිය ගැන්වීම් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ.
සැපයුම්කරුවන් විසින් ලබා දී ඇති සහනදායි මිල ගණන් හේතුවෙන් සෑම වසරකම ශ්‍රි ලංකාවේ අන්තර් ජාලයට යොමු වන පිරිස ද වැඩි වන බව ඔවුන් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් ය.
වාර්තාවට අනුව අන්තර් ජාලය පරිහරණය කිරීමේ නිදහස සැළකීමේදී ලොව ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තය ,එස්ටෝනියාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ,ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානයයි.