කන්තලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියපුර යුද හමුදා කඳවුරට එකවර කඩාවැදුණු වල් අලියකුට වෙඩි තබා මරා දැමීම හේතුවෙන් කන්තලේ මහෙස්ත්රාත් හමුවට පෙරේදා (31දා) ඉදිරිපත් කළ යුද හමුදා සෙබළා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කන්තලේ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හළේ ශ්රී ලංකා යුද හමුදා දෙවැනි පොදු හේවා බළකායේ සෙබළ එච්.පී. අජිත් චන්ද්රපාල යන අයයි. සැකකරු ගිනි අවිය සමඟ මහෙස්ත්රාත් හමුවට ඉදිරිපත් කළ වනජීවී දෙපාර්තමේන්තුවේ කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක ඩී.එම්. සිරිවර්ධන මහතා කියා සිටියේ කඳවුරට එකවර කඩා වැදුණු අලියා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
සැකකරුට ඇප නියම කළ මහෙස්ත්රාත්වරයා ලබන නොවැම්බර් 12දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.