ජල ප්‍රහාර එල්ල කරද්දී ඉදිරියට නෑවිත් පසුබැස ගිය අහිංසක සිසුන්ට බැටන් පොලුවලින් පහරදීම කාකි ඇඳුම් ඇඳගත් අයගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මෙසේද කීය,
උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පහර දීමක් වුණා. සිද්ධිය අපි රූපවාහිනියෙන් දැක්කා. ඔවුන් ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින් පාරදිගේ ගමන් කළා. එම පාඨමාලාව අවසන් කළ පසු වාණිජ උපාධිය ලබාගත් සිසුන්ගේ තත්ත්වය ලබාදිය යුතු බවයි ඉල්ලුවේ. මෙම පිළිගැනීම කලකට පෙර තිබුණා. එතන භික්ෂූන් වහන්සේලා කාන්තාවෝ සිටියා. පොලු, මුගුරු, ආයුධ අත තිබුණේ නෑ. ඔවුන් බාධක ඉවත් කර ඉදිරියට යද්දී එය වැළැක්වූවා. ජලප්රහාර එල්ල කරද්දී සිසුන් පසුබැස්සා. අපි දැක්කා කාකි ඇඳුම් ඇඳ සිටි නිලධාරීන් මේ සිසුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළා. බොහෝ සිසුන් තුවාල ලැබුවා.
පසු බසින සිසුන්ට ඇයි මෙහෙම දෙයක් කළේ? මෙය වගකීම් රහිත ක්‍රියාවලියක්. ප්රජාතන්ත්රවාදී රටක ජනතාවට අයිතියක් තියෙනවා තම දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න. ඔවුන්ට කලකට පෙර දී තිබූ අයිතියක් ඉවත් කරලා යළි එය ඉල්ලා සිටියා. අපි ජීවත්වන්නේ අධිරාජ්‍යවාදී රටක නොවේ. අපේ තරුණයන්ට මෙලෙස පහර දෙන්න බෑ. මේක යහපාලනයද.? ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ පහරදීම වැලැක්වූයේ නෑ. අණදීමේ ව්‍යුහය අපි පැහැදිලිව හඳුනාගත යුතුයි. තරුණ රැකියා වියුක්තිය අපේ රටේ ලොකු ප්‍රශ්නයක්.
(අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ)