• Mon. Feb 6th, 2023

පරමාදර්ශී නවීන බෞද්ධ භික්ෂුත්වය පිළිබද ජීවමාන ප‍්‍රතිරූපය – මාදුළුවාවේ සෝභිත හිමි

maduluwawe sobitha himi
පසුගිය වසර දෙකක් පමණ කාලයක් තුළ ලංකාව තුළ ඇතිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධරණත්වය පිළිබද මහජන උන්නදුවේ සංකේතය වන්නේ කිසිදු සැකයක් නොමැතිව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේය. මා සිතන ආකාරයට මෙය ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය තුළ තනි භික්ෂුවක් විසින් සිදුකරණු ලැබූ ඉහළම දේශපාලන බලපෑම ලෙස හැඳින්වීමට හැකි බවයි. ලංකාවේ නූතන ඉතිහාසය තුළ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉතාම තීරණාත්මක භූමිකා රඟදක්වනු ලැබූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සෑහෙන ප‍්‍රමාණයක් සිටිති. විශේෂයෙන් තනි භික්ෂුවක් ලෙස ගත් කළ යටත් විජිත සමයේ අවසාන හරියේදී වල්පොල රාහුල හිමියන් විසින් ඉෂ්ට කරන ලද භූමිකාව තීරණාත්මක මෙන්ම ප‍්‍රභල එකක් වන්නේය. කෙසේ වෙතත් මගේ අදහස වන්නේ පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් ඉෂ්ටකරන ලද දේශපාලන භූමිකාව කීප අතකින් ගත් කළ රාහුල ස්වාමීන් වහන්සේ විසින් ඉෂ්ට කරන ලද කාර්යභාරයට වඩා තීරණාත්මක මෙන්ම අභියෝගාක්මකද වන බවයි.
මගේ මේ ප‍්‍රස්තුතය තරමක් සවිස්තරාත්මකව විදාරණය කිරීමට කැමැත්තෙමි.
මගේ මේ සාකච්ඡාව ලංකාවේ භික්ෂු දේශපාලනය පසුගිය දශක කීපය තුළ මුහුණ දුන් සහ තවමත් මුහුණ දෙමින් සිටින අභියෝගාත්මක සංදර්භය තුළ පිහිටුවා සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. මේ සාකච්ඡාව තරමක් මතභේදාත්මක විය හැකි ස්ථානයකින් ආරම්භ කිරීමට කැමැත්තෙමි. එනම් 1992 දී මානවවිද්‍යාව පිළිබද ප‍්‍රකට මහාචාර්යවරයෙක් වූ අභාවප‍්‍රාප්ත එස්.ජේ. තම්බයියා විසින් රචිත සහ පින්ලන්තයේ පිහිටි වයිඩර් ආයතනය විසින් ප‍්‍රකාශිත බුඩිසම් බිටේ‍්‍රඞ්? කෘතියයි. මේ කෘතිය ලංකාව තුළ බෙහෙවින් ප‍්‍රචලිත වුනේ සහ මතභේදයට ලක්වුනේ එහි පිටකවරය, මෙහිදී අපගේ කතානායකයා වන, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඡායාරූපයකින් සරසා තිබීම නිසායි. මෙම ඡායාරූපය බෙහෙවින් මතභේදාත්මක වූයේ එම කෘතියේ ලා සාකච්ඡාවට ගැනෙන තේමාවට සාපේක්ෂව මෙම ඡායාරූපය විසින් කරනු ලබන අර්ථ සම්පාදනය නිසාය. කෘතිය තුළ සාකච්ඡා වූ මූලිකම තේමාව වූයේ නූතන ලංකාවේ දේශපාලන ප‍්‍රචණ්ඩත්වගේ ගති ලක්ෂණ සහ එහි ලා බෞද්ධ භික්ෂු තන්ත‍්‍රයේ දායකත්වයයි. සෝභිත හිමියන්ගේ අදාළ ඡායාරූපය පිටකවරයේ යොදා තිබුණේ එය ප‍්‍රචණ්ඩ භික්ෂු දේශපාලනයේ ප‍්‍රකාශමාන වීමක් ලෙස හැඟී යන පරිද්දෙනි. බාහිරින් බැලූ කළ එම අවශ්‍යතාවය එම ඡායාරූපය මගින් ඉෂ්ට වුවද එය කිසිසේත්ම, එකළ පවා, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේශපාලන භූමිකාව පිළිබඳව සාධාරණ නියෝජනයක් වූයේ නැති බව මගේ අදහසයි.

1980 දශකයේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ඇති වූ පුනර්ජීවනයේ ඉදිරියෙන්ම සෝභිත හිමි ද සිටිවබ සත්‍යයකි. එසේ වුවද තම්බයියාගේ පොතේ පිටකවරයේ පිංතූරයේ ඇති ඉරියව්ව මගින් යෝජනා කෙරෙන අර්ථයට වෙනස්ව උන්වහන්සේ ප‍්‍රචණ්ඩ දේශපාලන මාවතක් අනුගමනය නො කළහ. එපමණක් නොව මෙම ජාතිකවාදී ව්‍යාපාරයේ බොහෝ ප‍්‍රකාශකයින්ට වෙනස්ව පසමිතුරු කොටස් සමග සාකච්ඡුා කිරීම සඳහා උන්වහන්සේ දැක්වූ උනන්දුවද මෙහි දී කැපී පෙණිනි. සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව තුළ, එවකට දේශපාලන කතිකාව තුළ අතිශයින් මතභේදාත්මක දෙයක් බවට පත්වී තිබූ දෙමළ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් සාපේක්ෂවශයෙන් මෘදු ආකල්පයක් දැක්වීමේ නැඹුරුවක් ද එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින පිරිස් සමග මානුෂික ලෙස සාකච්ඡා කිරීමේ නැඹුරුවක්ද උන්වහන්සේ තුළ තිබිණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග මේ පිළිබදව උන්වහන්සේ සාකච්ඡා කරනවා මට මතකය.

උන්වහන්සේගේ මෙම නම්‍යශීලී නැඹුරුව පිළිබඳව මට ඉතා වැදගත් පුද්ගලික අත්දැකීමක් තිබේ. 1991 දී පමණ මම යුක්තිය පුවත්පත වෙනුවෙන් උන්වහන්සේ සමග සාකච්ඡාවක් පැවැත්වූයෙමි. ඒ අවස්ථාවේදී අප දෙදෙන පැහැදිළිවම පසමිතුරු දෘෂ්ටිවාදී කඳවුරු දෙකකට අයත්වී සිටියෙමු. උන්වහන්සේද මේ ගැන සංවේදී සිටි බවට මට සැකයක් නැත. එම සාකච්ඡාව කෙරුණේ ජනවාර්ගික ප‍්‍රශ්නයට සාමකාමී දේශපාලන විසඳුමක් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. එහි දී මා උන්වහන්සේගෙන් විමසූ එක් ප‍්‍රශ්න දෙකක් සහ ඊට උන්වහන්සේගෙන් ලැබුණු පිළිතුරු මෙහිදී උපුටා දැක්වීම වැදගත්ය.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ හිතනවද මේ ප‍්‍රශ්නයට සාකච්ඡා මාර්ගික විසඳුමක් ඇකිකිරීම සඳහා ඇති ඉඩකඩ ඇහිරිලා තියෙනව කියල?
පිළිතුර: ද්‍රවිඩ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් තමයි ප‍්‍රභාකරන්ට කැමති. ඛඔඔෑ කියන්නෙ ඉතාම සුළු කණ්ඩායමක්. තව ලංකාවේ කොච්චර තියෙනවද දෙමළ දේශපාලන පක්ෂ. ඒක එක පැත්තක්. අනිත් එක ප‍්‍රභාකරන් ක‍්‍රියා කරල තියෙන්නෙ කොහොමද? ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න කියල සටන් කරන ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජනනායකයෝ සියළු දෙනාම ඝාතනය කරල තියෙනව. ඉතාම හොඳ ප‍්‍රගතිශීලී ඒ වගේම ජනතාව වෙනුවෙන් සේවය කරපු විශාල පිරිසක් මේ වන විට මරාදාල ඉවරයි. අමිර්තලිංගම්, පත්මනාභ, සභාරත්නම් වගේ. මේ රටේ ද්‍රවිඩ ජනතාව කැමතියි මුළුමහත් රට තුළ අනිත් සිංහල ජනතාව සමඟ සුහදව ජීවත් වෙන්න.’’

ප‍්‍රශ්නය: මේකට සිංහල සහ දෙමළ ජනයා අතර අන්‍යොන්‍ය විශ්වාසය අවශ්‍යයි නේද? යුද්ධය නිසා එම අන්‍යොන්‍ය විශ්වාසය බිඳීගොස් වෛරය වැඩිවෙනවා නේද?
පිළිතුර: අපි හැමදෙනාම යුද්ධය ප‍්‍රතික්ෂේප කරනවා. මිනිස් ජීවිතයේ වටිනාකම මිල කරන්න බැහැ. දැන් හොඳටම පේන දෙයක් තමයි අද වෙනකොට ප‍්‍රභාකරන් හුදෙකලා වේගන එනව. ඒ හුදෙකලාව තුළ ඔවුන් තල්ලූවෙලා යාවි. නමුත් ඔවුන් තල්ලූ වීම ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි ඒ නිසා මට හිතෙනවා මේ වෙලාවේ අනිත් අය සියළු දෙනා විසිනම මේ පිළීබඳව අවධානය යොමුකළ යුතුයි කියල. දැන් පාර්ළිමේන්තුවේ මේ ප‍්‍රශ්නෙ ගැන සොයා බලන්න පත්කරල තියෙන කොමිටියට හොඳ හොඳ යෝජනා ඒවි විවිධ අංශ වවින්. ඒව සාකච්ඡාවට භාජනය කරල විසඳුමක් දකින්න උත්සාහ කරන එක හොඳයි.
මේ ප‍්‍රකාශය උන්වහන්සේ විසින් සිදුකරනු ලබන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදී මතය පොදුවශයෙන් ගත්කළ දෙමළ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් දැඩි අනම්‍ය ස්ථාවරයක් දරණ තත්වයක් යටතේ වීම වැදගත්ය.
ඇත්ත වශයෙන්ම වසර විසිපහකට පමණ පෙර කරන ලද ඒ ප‍්‍රකාශය තුළ අඩංගු, රටේ දැවෙන ප‍්‍රශ්න දෙස මැදහත්ව සහ තමන් අයත් කඳවුරේම ඇතැම් අන්තවාදයන්ට යටත් නොවී විවෘත මනසකින් බැලීමට උන්වහන්සේට ඇති හැකියාව මා අවබෝධ කරගත්තේ පසුගිය වසරකට වැඩි කාලය තුළ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ කටයුතුවලට ක‍්‍රියාකාරීව මැදිහත් වී උන්වහන්සේ සමග කිට්ටුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු පසුවයි.
පසුගිය වසරක පමණ කාලය තුළ ලංකාවේ සිදු වූ තියුණු දේශපාලන පරිවර්තනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ටකලා වූ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ ජීව රුධිරය වූයේ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේය. මේ ව්‍යාපාරයට එම තීරණාත්මක මැදිහක් වීම කිරීමට හැකියාව ලැබුණේ මූලික වශයෙන්ම අතිශයින් විභේදනයට පත්වී තිබූ දේශපාලන බලවේග රැුසක් පොදුජන අභිලාෂවලට අනුකූල ඉතා වැදගත් සටන් පාඨ කීපයක් ඔස්සේ ඒකාබද්ධ කිරීමට එයට තිබූ හැකියාව නිසාය.
මෙය 1983න් පසුව ලංකාවේ වර්ධනය වෙමින් පැවැති ඉතාම නිෂේධාත්මක දේශපාලන ප‍්‍රවණතාවයක් ඉතා තීරණාත්මක ලෙස ආපසු හැරවීමක් විය. මෙම නිෂේධාත්මක දේශපාලන ප‍්‍රවණතාවය නම් අන්ත-සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දේශපාලන ශක්තිය දැවැන්ත ලෙස නැගී ඒමයි. මෙම ජාතිකවාදී දෘෂ්ටිවාදය, ආරම්භයේදී, අපට බොහෝ යහපත් දේ පොරොන්දු වුවද අවසානයේ එය අපට අත්පත්කර දුන්නේ ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ භයානකම හා සමාජ-දේශපාලන වශයෙන් හානිකරම පාලන තන්ත‍්‍රයයි. 2005 සිට 2015 දක්වා කාලය තුළ මෙම පාලන තන්ත‍්‍රය පෙර නොවූ විරූ ආකාරයෙන් මහජන අරමුදල් සහ බලය අපහරණය කරනු ලැබීය. මෙය සිදු කරනු ලැබූයේ තනිකරම ‘දේශපේ‍්‍රමය’ යන ව්‍යාජ සංකල්පයට මුවාවීගෙනයි.
2005-2015 රාජපක්ෂ පාලන තන්ත‍්‍රය, විශේෂයෙන්ම, ලංකාවේ සිංහල-බෞද්ධ ජනයා අතර අනභිබවනීය තත්වයකට පත්ව තිබුණේ සිංහල-බෞද්ධ ජනයාගේ ජාතිකවාදී දේශපාලන මනඃඍෂ්ටිය සාර්ථකලෙස නියෝජනය කිරීමට ඊට ලැබී තිබූ හැකියාව නිසාය. 1980 ගණන්වල අග දී සෝවියට් දේශය අර්බුදයට යාමේ කි‍්‍රයාදාමය සමග ගෝලීය පරිමාණයෙන් ආරම්භ වූ සංසිද්ධියක් වූයේ නූතන දේශපාලනයේ ප‍්‍රතිමානමය පදනම තුළ විශ්වීය දේශපාලන වටිනාකම් වලට පැවැති හොජමොනික ශක්තිය දැවැන්ත ලෙස දුර්වල වීමයි. 1983 ජූලි සිදුවිීම් සමග ලංකාවේ දේශපාලන දේහය තුළ සිදුවූ ජාතිකවාදයේ ජයකෙහෙළි නැංවීම මෙම ගෝලීය සංසිද්ධිය මගින් තවදුරටත් ශක්තිමත් කෙරිණි. ඒ තත්වය තුළ ලංකාවේ දේශපාලනයේ ඒ වනවිට තහවුරු වී තිබූ සමානාත්මතාවය, සම සමාජය, කොමියුනිස්ට් සමාජය, වැනි විශ්වීය සංකල්ප ක‍්‍රමාණුකූලව දුර්වල වී ගියේය. පශ්චාත්-සෝටියට් ලෝකය තුළ ජනප‍්‍රිය වූ ‘මානව අයිතිවාසිකම්’ වැනි ලිබරල් විශ්වීය සංකල්ප ලංකාවේ දේශපාලන කතිකාව තුළට සේන්දු වී තිබුණද මහජනයාගේ දේශපාලන පරිකල්පනය තුළ ඒවාට තීරණාත්මක ස්ථානයක් ලැබුණේ නැත. 1990-1994 කාලය තුළ ජවිපෙ කැරැුල්ල මර්ධනය හා පේ‍්‍රමදාස ඒකාධිපතිත්වයේ නැගීම නිසා ඇතිවී තිබූ සුවිශේෂ දේශපාලන තත්වය තුළ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි විශ්වීය සංකල්පවලට තාවකාලික ජයග‍්‍රහණයක් ලැබුණද 1990 ගණන්වල අගදී ඇතිවන ජාතිකවාදයේ පිබිදීම හමුවේ නැගී සිටීමට එවා සමත් වූයේ නැත. 2005-2015 මෙම ජාතිකවාදයේ නැගීමේ අවසාන ප‍්‍රතිඵලයයි.
වෙනත් වචන වලින් කියනවා නම් විශ්වීයත්වය (Uනිවෙර්සලිස්ම්) අභිබවා කේවලත්වවාදය (ඵර්ටිcඋලරිස්ම්) ජයග‍්‍රහණය කොට තිබුණි. ඉතාම සැලකියයුතු සංසිද්ධියක් වන්නේ පදනම තුළින්ම විශ්වීය ආමන්ත‍්‍රණයක් රැගත් බුදු දහම ලංකාව තුළ මෙම කේවලත්වවාදයේ ග‍්‍රහණයට තීරණාත්මක ලෙස හසු වී තිබීමයි. 1983න් පසු වර්ධනය වන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැල්ල තුළ මෙන්ම 2005-2015 රාජපක්ෂ තන්ත‍්‍රයේ තහවුරු වීම පසුබිමේ ද වැදගත් කාර්යයක් ඉෂ්ට කරනු ලබන්නේ බෙහෙවින් පටු ජාතිකවාදීකරණයට ලක්වූ භික්ෂු දේශපාලනයයි. පසුගිය වසර කීපය තුළ වර්ධනය වූ රැඩිකල්-අන්තවාදී භික්ෂූන්ගේ මෙහෙයවීමෙන් ඇතිවන විවිධ සංවිධාන වල නැගීම මෙහි අවසාන ප‍්‍රතිඵලයයි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් දියත්වන ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ ඓතිහාසික වැදගත්කම තක්සේරු කළ යුත්තේ මේ පසුබිම තුළයි. මේ හරහා වැදගත් ප‍්‍රතිඵල දෙකක් ඇතිවිය. එකක් නම් ‘සාධාරණ සමාජයක්’ යන නෛසර්ගිවම විශ්වීය වූ සංකල්පයට දේශපාලන කතිකාව තුළ කේන්ද්‍රීය වැදගත්කමක් ලැබීමයි. මේ මගින් එතෙක් ජනපි‍්‍රය ආමණ්ත‍්‍රණයක් නොමැතිව විවිධ ‘‘රාජ්‍යනොවන සංවිධාන’’ වල ව්‍යාපෘති ලැයිස්තුවලට පමණක් සීමා වී තිබූ යහපත් ආණ්ඩුකරණය (ඝූඩ්-ඝොවෙර්නන්cඑ – ජනප‍්‍රිය වචනයෙන් කියනවා නම් යහපාලනය) මෙන්ම ‘සමාජ සාධාරණත්වය වැනි විශ්වීය සංකල්පවලට මහජන දේශපාලන පරිකල්පනයේ වැදගත් ස්ථානයක් හිමිවීමයි.
දෙවැන්න සෝභිත හිමියන්ගේ මැදිහත්වීම නිසා බෞද්ධ භික්ෂුවගේ දේශපාලන කාර්යභාරය පැහැදිළි ලෙසම පටු ජාතිකවාදී කේවලත්වවාදයෙන් පිටතට විත් බුදු දහමේ විශ්වීය වටිනාකම් වලට ගැලපෙන දිශානතියකට යොමු වීමයි. ඇතැම් විචාරකයින් සෝභිත හිමියන්ගේ මැදිහත්වීම කොමෙයිනිවාදයක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ දරණු ලැබුවද පසුගිය වසරකට අධික කාලය තුළ සිදුවීම් මගින් ම මේ නිරීක්ෂනය වැරදි බව තහවුරු කෙරී තිබේ. ලංකාවේ නූතන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිංහල-බෞද්ධ නොවන ජනකොට්ඨාශයන් අතරද තීරණාත්මක පිළිගැනීමක් සහිත ප‍්‍රතිරූපයක් සෝභිත හිමියන් හරහා නිර්මාණය වී ඇත. උනවහන්සේ දැනටමත් ලංකාවේ ඇතිවී ඇති නව ප‍්‍රගතිශීලී දේශපාලන පිබිදීම තුළ වාර්ගික ආගමික සීමා ඉක්මවා ගොස්, පොදුජන අපේක්ෂාවන්හී සංකේතය බවට පත්වී ඇත.
අවසාන වශයෙන් මගේ නිගමනය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේශපාලන භූමිකාව මගින් සමාජ-දේශපාලන මැදිහත්වීමක් සහිත නූතන භික්ෂුත්වය පිළිබද පරමාදර්ශී ප‍්‍රතිරූපය පටු ජාතිකවාදී රාමුවෙන් පිටතට ගෙන බුදුදහමේ එන විශ්වීය නැඹුරුවට වැඩාත් ගැලපෙන ආකාරයට අළුතෙන් නිර්වචනය වීමක් සිදුවී ඇති බවයි. එම නව භික්ෂු ප‍්‍රතිරූපය මේ අවස්ථාවේ ලංකාවේ දේශපාලනය විසින් ඉල්ලා සිටින වැදගත් සුසමාදර්ශී තැන්මාරුවට තීරණාත්මක දායත්වයක් සිදුකරනු ලබයි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *