• Sat. Jan 28th, 2023

නාහිමි පැතූ සිරිලක අපි ගොඩනඟමු – ජනපති මෛත්‍රී

maithripala sirisena

රටේ පැවැති අහිතකර දේශපාලන ප්‍රවාහයන් නිවැරදි මගට යොමුකිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීම සඳහාත් සෝභිත නාහිමියන්ගේ මඟපෙන්වීම උත්තේජනයක්‌ වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ ද දැක්‌වේ.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිස්මිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ පුවත මුළු මහත් ජාතියෙහිම සංවේගයට හේතුවකි.

බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව සියලු ආගමිකයන්ගේ හා ලක්‌වැසි සියලු ජාතීන්ගේ ගෞරව බහුමානයට ලක්‌ වූ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ හා ශාසනික උන්නතිය ආගමික සහජීවනය පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග රට තුළ තහවුරු කිරීම උදෙසා අප්‍රතිහත ධෛර්යකින් යුක්‌තව පෙනී සිටි අභීත යතිවරයාණන් වහන්සේ නමක්‌ ලෙස සමස්‌ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ගෞරවය දිනා සිටියහ.

රටෙහි පැවැති අහිතකර දේශපාලන ප්‍රවාහයන් නිවැරැදි මගට යොමුකිරීම සඳහා උන්වහන්සේ තුළ වූ අධිෂ්ඨානය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීම සඳහා වූ පොදුජන ක්‍රියාවලියට තීරණාත්මක මඟපෙන්වීමක්‌ හා උත්තේජනයක්‌ විය. එම බලපෑම මගේ නායකත්වයෙන් යහපාලන රජයක්‌ බිහිකරමින් රට නිවැරැදි දිශානතියකට ගෙනයැම සඳහා අප වෙත ලබාදුන් ඉමහත් ධෛර්යයක්‌ සැපයීය.

පසුගිය දශක කිහිපයක සිට මගේ දේශපාලන ජීවිතයට උන්වහන්සේගෙන් ලැබුණු අවවාද අනුශාසනා රටේ යහපත වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා වෙත ශක්‌තියක්‌ ලබාදුන් අතර උන්වහන්සේ පැතූ සමාජ සාධාරණත්වය ඉදිරියට ද පවත්වාගෙන යැමට එය පහන් ටැඹක්‌ සේ අප වෙත මඟපෙන්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමි.

සමාජයේ දේශපාලන ආගමික හා සංස්‌කෘතික පරිවර්තනයන් උදෙසා අතිපූජ්‍ය සෝභිත නායක මාහිමියන් වහන්සේගේ කැපවීම මෙයට දශක හතරක්‌ පමණ වූ අතීතයකට දිවයන දීර්ඝ ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ තීරණාත්මක කාර්යභාරයක්‌ ඉටුකරමින් ද පසුගිය යුගයේ වර්ධනය වෙමින් පැවැති සංස්‌කෘතික හා ආර්ථික සෝදාපාළුවට එරෙහිව මහාචාර්ය සරත්චන්ද්‍රයන් සමඟ සමාජ සංවාදයක්‌ ඇති කළේ ද උන්වහන්සේ විසිනි.

එමෙන්ම මේ රටේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ පිළිබඳව කතිකාවතකට පුරෝගාමී වූ සංඝපීතෘවරයාණන් වහන්සේ නමක්‌ ලෙසින් ද ආගමික හා ජාතික සංහිඳියාව උදෙසා පෙනී සිටි ප්‍රමුඛ නායකයකු වශයෙන් ද අපට අසමසම මුද්‍රඩ්වක්‌ ශ්‍රී ලාංකික සමාජය තුළ සනිටුහන් කළ උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ සඳහා මෑතකාලීනව රට තුළ සිදුකළ අරගලය අසම සම වන බව මගේ විශ්වාසයයි.

මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ පැතූ සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක්‌ නිර්මාණය කිරීම අපගේ පරම වගකීමක්‌ බව විශ්වාස කරන මා මුළු මහත් ලක්‌වැසි ජනතාව සමඟ උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා අප වෙත ලබාදුන් අවවාද අනුශාසනා පිළිබඳව යළි යළිත් මෙනෙහි කරමින් ඒ සඳහා වන කැපවීම සපථ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *