දශක හතරකට අධික කාලයක් ශාසනයේ සුබසිද්ධියත් රටේ ඒකීයභාවය හා ජාතික සමගියත්, සියලු ජාතීන් අතර සමගිය, සහජීවනය හා සමානාත්මතාවය සුරැකීම උදෙසාත් දිවිහිමියෙන් කැපවී කටයුතු කළ පරම පූජනීය, පරමාදර්ශී යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් සෑම ජන කොටසකම ගෞරවයට හා බහුමානයට පාත්‍ර වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ අද (12දා) පස්වරුවේ දැයෙන් සමුගනිති.අපවත්වී වදාළ අතිපූජ්‍ය සෝභිත මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (12දා) පස්වරුව 3.00 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාපිටියේදී සිදුකෙරේ.
ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහැර අද දහවල් 1.30 ට ශ්‍රී නාග විහාරයෙන් පිටත්වී පිටකෝට්ටේ මංසන්ධිය, බංගලාහන්දිය, ඇතුල්කෝට්ටේ මංසන්ධිය, බත්තරමුල්ල පාර ඔස්සේ පැමිණ පාර්ලිමේන්තු මාවතට පිවිස පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියට පිවිසීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.
ශ්‍රී දේශය රැගත් ආදාහන පෙරහැරේ පොලිස් නියාමක රථ, යතුරු පැදි ඉදිරියෙන්ම ගමන් ගන්නා අතර මහා සංඝරත්නය දහස් නමක්, නාග විහාර දායක සභාව, බෞද්ධ කාන්තා සමිතිය හා සෝභිත හිමිපාණන්ගේ පවුලේ සාමාජිකයන්ද ගමන් කිරීමට නියමිතය.
අවුපත්, මුර ආයුධ රැගත් 20 දෙනකු නිල ඇඳුමින් සැරසී ගමන් ගන්නා අතර සිවිල් ආරක්ෂක නිලධාරීන් 1000 ක් සුදු ඇඳුමින් සැරසී කහකොඩි රැගෙන එක පෙළට හතර දෙනා බැගින් පෙරහැරේ ගමන් කරනු ඇත. අනතුරුව පාසල් සිසුන්, හේවිසි හා තූර්ය වාදක කණ්ඩායම් ශ්‍රී දේහය රැගත් දෙණ සහිත රථය ඉදිරියෙන් ගමන් ගන්නා අතර ගුවනේ සිට මල් දැමීම ගුවන් හමුදාව මගින් සිදුකිරීමට නියමිතය.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන මෙම ආදාහන පූජෝත්සවයේදී ආචාර වෙඩිමුර 21 ක් පවත්වනු ලැබේ.
ආදාහන මළුව අබියස භික්ෂූන් වහන්සේලා 5000 ක් විශේෂ ආරාධිතයන් 350 ක් සහ ආරාධිතයන් 2000 ක් වෙනුවෙන් අසුන් පනවා ඇතැයි ආදාහන කමිටුව පවසයි.
ආදාහන පෙරහැරට සහභාගිවන සියලු දෙනාම සුදු ඇඳුමින් සැරසී කහපාට කොඩි රැගෙන පැමිණිය යුතු බව ආදාහන කමිටුව දන්වා සිටී.
ආදාහන පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පස්වරු 1 සිට සීමා කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
සෝභිත මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ විස්තර ප්‍රචාරයක් සජීවීව විකාශය කිරීමට ජාතික රූපවාහිනිය ඇතුළු රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ගණනාවක් පියවර ගෙන ඇත.
(දයා ලංකාපුර සහ චමින්ද සිල්වා)