• Sat. Jan 28th, 2023

maithripala sirisena and sobitha himi
මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.
සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අමතමින් ජනපති මෙසේද පැවසීය.

“අපවත් වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ පිළිබදව මේ ස්ථානයේ සිටින පිරිස් පමණක් නොව ලක්වැසි සියලූම ජනතාව අද දිනයේ දී දැඩි ශෝකයට හා සංවේගයට පත්ව සිටිනවා.
සෝභිත ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවක අපවත් වී වදාළා. උන් වහන්සේ පසුගිය වසර කිහිපයක් තුළ වරින් වර රෝගාතුර වුණා. ඒ උන් වහන්සේට තිබූ දැඩි අවිවේකය නිසාමයි. සාධාරණ සමාජයක් පිළිබද ජාතික ව්‍යාපාරය මෙන්ම උන් වහන්සේගේ ශාසනික සේවාව, සමාජ සේවාව, දේශපාලන පක්‍ෂයකින් තොරව සුපිරිසිදු, සාධාරණ, යහපාලනයක් සහිත සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ දැරූ උත්සාහයත්, පවිත‍්‍ර චේතනාවත් පෙරදැරි කරගෙන පසුගිය දශක කිහිපය තුළ උන් වහන්සේ කටයුතු කළා.
විශේෂයෙන් යුද්ධය පැවති කාලයේ සිංහල, දමිළ, මුස්ලිම් භේදහකින් තොරව යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලූ ජනකොටස් ජීවත් වූ ප‍්‍රදේශවලට ගොස් උන් වහන්සේ මහා මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. සෝභිත හිමියන් ඉටු කළේ මහා යුග මෙහෙවරක්. මේ යුග මෙහෙවරෙහි ප‍්‍රමුඛ වූ අවස්ථාවක් ලෙස පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර මේ රටේ සාධාරණ සමාජයක් ගොඩ නගන්නට, යහපාලනයක් ගොඩ නගන්නට උන් වහන්සේ කළ මෙහෙවර සඔදහන් කළ හැකියි.
මා අද ජනාධිපති ධුරයේ සිටින්නේත්, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ප‍්‍රමුඛ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් එක්වූ ජාතික රජයක් ලෙස නව රජය කටයුතු කරන්නේත් උන් වහන්සේ නිසයි. මේ සියලූ දේ වල නිර්මාපකයන් වන්නේ ගෞරවනීය සෝභිත ස්වාමීන් වහන්සේයි.
මීට පෙර ගිහි පැවිදි කතාවලදී සදහන් වූ ආකාරයට උන් වහන්සේ බලාපොරොත්තු වූ අරමුණ ඉටු කරමින් සාධාරණ සමාජයක්, යහපාලනයක් තුළ පුළුල් හා ප‍්‍රබුද්ධ වූ මානනවවාදී සමාජයක් අපි ගොඩනැගිය යුතුයි. මේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබද දැඩි අධිෂ්ඨානයක් උන්වහන්සේ තුළ තිබුණා. මා ජනාධිපතිධූරයට පත්වූයේ ද උන්වහන්සේ ප‍්‍රමුඛ ඒ අරමුණ සදහා කැපවූ නායකයින්ගේ සහ පොදු මහ ජනතාවගේ අභිප‍්‍රාය තුළයි.
උන් වහන්සේගේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්නට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නගන්නට හා සාධාරණ සමාජ ක‍්‍රමයක් ඇතිකිරීම සදහා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සදහා මා විසින් කළ යුතු සියලූ කැපවීම කරන බව මේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ මා සපථ කරනවා. එමෙන්ම මේ රටේ අද පවතින ඡුන්ද ක‍්‍රමයේ වෙනසක් පිළිබද උන් වහන්සේ තුළ දැඩි බලාපොරොත්තුවක් තිබුණා. නව රජය ලෙස ඒ සදහාත් කැප වන බව මේ ශ්‍රී දේහය ඉදිරියේ මා සපථ කරනවා.
මේ මහා යුග මෙහෙවරක් කළ මේ උතුම් බුද්ධ පුත‍්‍රයන් වහන්සේ තම ජීවිත කාලය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වී මේ රටේ සමාජය තුළ අනෙකුත් භික්‍ෂූන් වහන්සේලාට වඩා යා යුතු වෙනත් ගමනක් උන්වහන්සේට තිබුණා.
ඒ ශාසනික සේවාවෙන් බැහැර වූ ඉතා නිවැරදි දේ ගරු කරන යහපත් සමාජ සාධාරණත්වයක් ඉටු කරන රාජ්‍ය පාලනයක් ඇතිකිරීම සදහායි. ඒ සදහා උන් වහන්සේට සියලූ දෙනාගේම ආශීර්වාදය ලැබුණා.
උන් වහන්සේ රෝගී වූ අවස්ථාවේ මේ රටේ සියලූ දෙනා ශෝකයට පත්වුණා. උන් වහන්සේට ප‍්‍රතිකාර කර නිරෝගී තත්ත්වයට පත් කරගැනීම ස`දහා කළ හැකි කළ යුතු සියලූ දේ අප විසින් සිදුකරනු ලැබුවා. ඒ කෙසේ වෙතත් ජීවිතවල හා අන් සියලූ දේ වල ඇති අනිත්‍යභාවය තුළ උන් වහන්සේ අප බලාපොරොත්තු නොවූ ආකාරයට අපවත් වුණා.
එය මුළු මහත් ලක්වැසි ජනතාවටම දරා ගත නොහැකි වූ වේදනාවක්. එහෙත් උන් වහන්සේ බලාපොරොත්තු වූ සමාජ ක‍්‍රමය බිහිකරන්නට අප විසින් කළ හැකි සෑම දෙයක්ම අපි නොපිරිහෙලා ඉටු කරනවා.
මහා යුග මෙහෙවරක් ඉටු කළ, සමාජ පරිවර්ථනයක් සිදුකිරීමට කැප වූ මහා උදාර ජීවිතයක් අවසන් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවායි ප‍්‍රාර්ථනා කරන අතරම උන් වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ චින්තනය, දැක්ම පිළිබදව අපට කළ හැකි සියලූම දේ කරන බව ප‍්‍රකාශ කරනවා”

යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *