• Mon. Feb 6th, 2023

ඇවන්ගාඞ් ඇතුලාන්තය හා සිවිල් සංවිධානවල මැදිහත් වීම

 

avant guardපසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට එල්ල වූ ප්‍රභල චෝදනාවන් අතර ඇවන්න්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රධාන තැනක් ගනී. දේශපාලන වේදිකාව තුල ඇවන්ගාඩ් උනුසුම් මාතෘකාවක් වූ අතරම ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ජනාධිපතිවරණය අවසන් වී නව රජය පත්වීමෙන් අනතුරුව ජනවාරි මස 18 වන ඉරිදා ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති නැව ගැළුවරායේ දී අත්අඩංගුවට ගන්නේ කරුණු මේ ආකාරයෙන් පවතින අතරතුරයි. එහි දී එම නැවේ තිබි ස්වයංක්‍රීය ගිනි අවි 3,000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමට පොලිසිය සමත් විය. මේවායින් බහුතරය ලියාපදිංචි නොකල අවි බවට ද එම අවස්ථාවේ කරුණු ප්‍රකාශ විය.

මෙම නෞකාව ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති පාවෙන අවිගබඩාව බවට පසුව අනාවරණය කරගන්නා ලදී.

ඔක්තොබර් මස 9 වනදා ඇවන්ගාඩ් සමාගමට අයත් තවත් මෙවැනිම වූ නෞකාවක් ගාළුවරාය ආසන්නයේ දී නාවික හමුදාව බාරයට පත්වන අතර එම නෞකාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි 810ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.

ඇවන්ගාඩ් මාතෘකාව නැවතවතාවක් කරළියට පැමිනෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම විසින් කිසිඳු නීති විරෝධී කටයුත්තක් සිදුකොට නැති බවත් පොලීසිය විසින් මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ලකුණ දමාගැනීමේ අරමුණින් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම නිසිඳු වරදක් කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් සහ තවත් චොදනා ගණනාවක් එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තමා කිසි ලෙසකින්වත් ඉඩ නොතබව බවත්ය.

ශ්‍රී-ලාංකික රජයේ නීති පද්දතිය සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුල ගැටළු ගණනාවක් පැනනැගී ඇත. මේ අතරිනුත් ප්‍රධානම ගැටළුව වන්නේ දැනට පරීක්ෂන කටයුතු අවසන්ව නැති කටයුතුතක් සම්බන්ධයෙන් එම පරීක්ෂන කටයුතු භාර ආයතනයන් සහ නීතිය පසිඳලීම සම්බන්ධ ආයතනයන් භාර අමාත්‍යවරුන් දෙදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැරීමයි.

මෙම අවස්ථාවේ බැඳියා පිළිගැටුමක්((Conflict of interest) ) ඇති වීම නොවැළැක්විය හැකි සිදුවීමකි. එමෙන්ම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ ගැටළුවේ දී ඇවන්ගාඩ් සමාගමට නීති උපදෙස් සපයන්නේ තිලක් මාරපනගේ සොහොයුරාවන ගාමිණී මාරපනට අයත් නීතීඥ සමාගම වීම තුලද මේ ආකාරයේ බැඳියා පිළිගැටුමක් ඇතිවීමට විශාල ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී තිලක් මාරපන විසින් ඇවන්ගාඩ් හැඳීන්වීමට යෙදුන මාගේ සේවා දායකයා යන ආමන්ත්‍රණය තුලම මෙම කරුණ ගැබ්ව ඇති බව මාගේ පෞද්ගලික හැඟීමයි.

එමෙන්ම ඊයේ දිනයේ පැවති ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් තීරණයකට එළැබීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද විශාල ගැටළුවක් පවතී.

මෙවැනි තත්වයක් තුල ඇවන්ගාඩ් සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදුවනවා ද නැති ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම අයෙකු තුල ඇති වීම වැලැක්විය නොහැක.

සරලව පවසනවා නම් නීතීඥයෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න සම්බන්ධයෙන් පෙනී සිටීම ගැටළුවක් නොවන නමුත් මෙම පරීඛ්ෂණ කටයුතු මෙහෙයවන ආයතන භාර අමාත්‍යවරුන් වන අධිකරණ අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න වෙනුවෙන් පෙනී සිටීම ගැටළුකාරී තත්වයක් ඇතිකරන බව අමුතුවෙන් කියයුතු නොවේ.

මෙම ගැටළුවේ දී රටේ ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමත් රජයට බලපෑම් එල්ල කිරීමත් එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනතාවගේ හා සිවිල් සංවිධාන වල හඬට ඇහුම්කන් දීමත් පෙර පැවති තත්වය සමඟ සසඳන විට ඉතාම හොඳ ප්‍රවනතාවක් බව ද පැවසිය යුතුව ඇත.

ප්‍රසාද් වැලිකුඹුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *