• Mon. Feb 6th, 2023

ක්‍රමය වෙනස් නොකර ආණ්ඩුවට මීට වැඩිය දෙයක් කරන්න බෑ

yahapalana goverment

ක්‍රමය වෙනස් නොකර ආණ්ඩුවට මීට වැඩිය දෙයක් කරන්න බෑ / දුෂිතයන් පිටු දැකීමේ දී ජනතාව තමන්ගෙ වගකීම පැහැර හැරලා
 – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අධිනීතිඥ රෝලන්ඞ් අබේපොල.

පොදු ජනතාව වත්මන් ජනාධිපතිතුමාත්, වත්මන් ආණ්ඩුවත් පත්කෙරුවෙ විශාල බලාපොරොත්තු ඇතුව. එහෙත් ජනාධිපතිතුමා පත් වී වසරක් ගත වන්නටත් ප‍්‍රථම, වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයට තෙමසක් ගතවීමටත් පෙරාතුව ජනතාව මැසිවිලි නගනව “අපි බලාපොරොත්තු විදිහට නෙමෙයි ආණ්ඩුව් කටයුතු කරන්නෙ” කියල. ඒ ගැන දක්වන අදහස කුමක් ද?

අවස්ථා දෙකකදි ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බලයට පත්වුණා. ජනාධිපතිවරයාගේ බලයට අභියෝගයක් නැතත්, ආණ්ඩුවට සැලකියයුතු බලයක් ලැබුණෙ නෑ. ඒ නිසා එහෙන් මෙහෙන් අහුලගෙන තමයි රජය ශක්තිමත් කරගන්න සිදුවුණේ. ඒ අනුව පටන්ගැන්මෙ ම තියෙන්නෙ අර්බූධකාරී තත්ත්වයක්. ඒ අනුව බලය පිළිබඳව, ස්ථාවරය පිළිබඳව සැගවුණ ගැටළු සහගත තත්ත්වයක් තියනව. ඒකත් සමනය කරගෙන තමයි මේ තත්ත්වය ගෙනියන්න වෙලා තියෙන්නෙ. එහෙම කිරීමේදී නොයෙකුත් ගැටළුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. මේ එකතුකරගෙන ඉන්න අය ශුද්ධවන්තයො නෙමෙයි. එහෙම චරිත පමණක් තෝරගෙන මේ ස්ථාවරය ඇතිකරගන්න බැරි බව පේනව. හොරුන්, දූෂිතයන්, කොමිස් හා පගාගත්තවුන් අල්ලනව, දඬුවම් කරනව කිව්වත් එහෙම අයත් ආණ්ඩුවට සම්බන්ද කරගන්න සිද්ධ වෙලා තියනව. ඒ නිසා තමයි ජනතාව නොසන්සුන් වෙලා තියෙන්නෙ.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමෙන් පසුගිය අවුරුදු ගණනාවක් මුළුල්ලේම රටට සිදුවෙලා තියන හානිය මාස කීපයකින්, අවුරුද්දකින් අනික්පැත්ත හරවන්න අමාරුයි. මේ අය නෙමේ වෙන කණ්ඩායමක් ආවත් එතරම් ඉක්මනින් මේක ආපහු හරවන්න බෑ. ඒකත් ජනතාව බලාපොරොත්තුවන කඩිනම් වෙනස කරන්න අමාරුවෙලා තියන හේතුවක්.

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් බලයට පත්වෙලා කිසිම දෙයක් කෙරුවේ නෑ කියන චෝදනාවට පදනමක් තියනවද? ඔවුන් කිසිම දෙයක් කරල නැද්ද?

නෑ. එහෙම ම චෝදනා කරන්න අමාරුයි. කොමිටි ටික පත් කිරීම බලපුවාමත් ඒක කොතරම් සාධනීය පියවරක්ද? ස්වාධීන කොමිසන් සභා පත්කරන එක කොතරම් කාලයක් සිට කරන ලද ඉල්ලීමක්ද? සිවිල් සමාජයේ හඬට ජනාධිපතිතුමා, ආණ්ඩුව කන්දීල තියනව. පොලිස් කොමිසම, නීතිය පිළිබඳ කොමිසම ඇතුළු කොමිසන් පත්කරල තියනව, සමහර කොමිසන් සභා පත්කිරීමට කටයුතු කරගෙන යනව. ඒ ටිකම ලොකු දෙයක්. ඒව පක්‍ෂපාතියි, දේශපාලනගැතියි කියල කවුරුවත් චෝදනා කරන්නෙ නෑ. ඒවට දැනුමක් ඇති, ප‍්‍රසස්ථ පුද්ගලයන් ඇතුළත් කරල තියනව. ඒව තවම ආරම්භ වුණා පමණයි. ඒව වැඩ කරන හැටි බලන්න ඕන. එහෙම තියෙද්දි මේ ගොල්ල මොකුත් කරන්නෙ නෑ කියල චෝදනා කරන්න බැහැ. එහෙම චෝදනා කරන්න ඉක්මන් වැඩියි කියල තමයි පෙන්නෙ. නමුත් රජය ජනතා බලාපොරොත්තු ඉටුකරමින් සිටින බව පිළිගන්න වෙනව. එතනදිත් තේරුම් ගන්න වෙනව බහුතර බලය නොතිබීම නිසා මුහුණ දුන් තත්ත්වය ගැන.

ආණ්ඩුවට විශාල බහුතරය නොලැබීම ගැටළුවක්ද? එක්සත් ජාතික පෙරමුණ, තම ප‍්‍රධාන පතිවාදියා වන නිදහස් ජනතා නිදහස් සන්ධානය පරාජය කරමින් වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීම ආණ්ඩුව ගෙනයාමට ප‍්‍රමාණවත් නැද්ද?

නෑ. ඒකාන්ත බහුතරයක් ආණ්ඩුවට ලැබුණෙ නෑ. බහුතර ආසන සංඛ්‍යාවක් ලැබුණට ලබාගත් වැඩි ආසන ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැහැ. ජනතාවත් එතනදි වගකීම පැහැර හැරලා තයනව. පවතින යථාර්ථය ජනතාවට තේරුම් ගැනීමට හැකි වුනේ නැහැ. ඔවුන්ට තිබුණෙ මේ රජයට වැඩි ආසන ප‍්‍රමාණයක් දීල බලන්නයි. ඔවුන් පක්‍ෂවලට ගැති වෙලා හිටිය. පාවෙන ඡුන්ද වලින් තමයි මෙතරම් හරි වෙනසක් කරන්න හැකිවුණේ.

බහුතරය මදි වූ පමණින් දූෂිතයන් ළංකර ගැනීම සදාචාරාත්මකද?

බහුතරය මදි වූ නිසාම තමයි දූෂිත පුද්ගලයන් පවා ළංකර ගැනීමට සිද්ධවෙලා තියෙන්නෙ. හොඳටම දූෂිතයි කියල නම් කෙරුණ පුද්ගලයන්ට නාමයෝජනා ලැබුණෙ නෑ. ප‍්‍රධාන පෙළේ දූෂිතයන් නාමයෝජනා ගන්න කොතරම් උත්සහ ගත්තත්, බලපෑම් කළත් ඔවුන්ට නාම යෝජනා දුන්නෙ නැහැ. දූෂිත පුද්ගලයන් ආණ්ඩුවට ගත්ත කියල ඔවුන්ට ඇති චෝදනාවලට පරීක්‍ෂණ කරන්න බාදාවක් නැහැ. දැනටත් එහෙම පරීක්‍ෂණ කරගෙන යනව. පරීක්‍ෂණ අනුව වැරදිකරුවන් වුවහොත් බලපෑමකින් තොරව දඬුවම් කරනව නම්, ආණ්ඩුව ජනතා පැතුම් ඉටු කෙරුව වෙනව.

පවතින ක‍්‍රමය යටතෙ දැන් කරගෙන යන විදිහට වැඩ කරන්න සිද්ධ වෙනව. සිස්ටම් එක වෙනස් නොකර ආණ්ඩුවට මීට වැඩිය දෙයක් කරන්න බෑ. රාමුව වෙනස් නොකර පවතින ක‍්‍රමය තුළ බරපතල වෙනස්කම් කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනව. ජ.වි.පෙ. චන්ද්‍රිකා ආණ්ඩුවෙ හිටියා. විජිත හේරත් ඒ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති. ඔහුට උවමනා වුනා එල්පිස්ටන් ර`ගහල අයකරන ගාස්තුව අඩු කරන්න. ඒත් ඒක කරන්න බැරි වුණා. ඒ වගේ සුළුදෙයක් එහෙම නම් ඊට වඩාය ලොකු දෙයක් කරන්න මේ රාමුව තුළ බෑ. දැන් බලන්න පාර්ලිමේන්තුවෙ ඇති වෙලා තියන තත්ත්වය. මොනම දෙයක් කතා කරන්නවත් බෑ. කිහිපදෙනෙක් එකතුවෙලා ගෙනෙන අණපනත්වල හොඳ නරක නොබලා කටයුතු කරනව.

ජනතාව වැඩි දෙනෙක් ඉල්ලූවෙ මේ රට විනාශමුඛයට ඇදල දාපු දූෂිතයන්ට දඬුවම් කරන්න කියල. ඒක කරන්න බාදාවක් නැහැ නේද? ජනතාව ඒ ගැන ඉන්නෙ දැඩි කළකිරීමකින්.

හොරකම් දූෂණ සිදුවෙලා තියන බව බැලූ බැල්මට පේනව. මිනිස්සුත් දන්ව. ඒත් ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ජනතාවගෙ හැගීමට ඒහෙම කිව්වට ප‍්‍රායෝගිකව එකපාරටම කරන්න අමාරුයි. පරීක්‍ෂණ සඳහා සෑහෙන කාලයක් ගතවෙනව. ඒව කරන්න ඕනැ නීත්‍යානුකූල රාමුවක් තුළ. ගමක සිදුවෙන සාමාන්‍ය පුද්ගලයෙකුගෙ මිනීමරුමක්, හොරකමක් වුවත් අල්ලලා දඬුවම්කරන්න කොච්චර කල් යනවද? අනික මොවුන් දූෂණ, වංචා කරල තියෙන්නෙ ඉතාමත්ම සූක්‍ෂම විදිහට. නිකරුනේ අත්අඩං`ගුවට ගැනීම් කරන්න බෑ සාක්‍ෂි නැතුව. රාජපක්‍ෂ සමයෙදි නම් එහෙම කෙරුව. සරත් ෆොන්සේකව ඇදගෙන ගිහින් රිමාඞ්කරල ද්වේෂ සහගතව දඬුවම් දුන්න. ඒත් යහපාලන රජයකට එහෙම කරන්න බෑ.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සිය පදවියෙ රාජකාරී ස්වාධීනව කරගෙන ගියා නම්, ඔහු කෙරේ මීට වඩා ප‍්‍රසාදයක් ඇතිවෙන බවත්, ඔහුගේ පාළනය මීට වඩා සාධනීය විදිහට කරගෙන යන්න තිබුණ බවත් ඇතැම් පිරිස් අදහස් කරනව. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන්නත්, එහි නායකත්වය ගැනීමට ගිය එක වැරදියි කියලත් මතයක් ඇතැම් අය ප‍්‍රකාශ කරනව.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වුනේ ආපසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න හිතාගෙන නෙමෙයි කියලයි අපි හිතුවේ. ඒත් දැන් යන්නෙ ඩබල් ඇක්ටින් ගේමක්. පාළනයේ ස්ථාවරත්වය ගැන කටයුතු කරන ගමන්, තමන්ගෙ පක්‍ෂය ගැනත් හිතන්න වෙලා තියෙනව. ඒ එක්කම පක්‍ෂ කිහිපයක් එකතු කර නිර්මාණය කළ ජාතික ආණ්ඩුව තුළ ගැටුම් ඇති නොවී පවත්වාගෙන යාමේ වගකීමත් කරට ගන්න සිද්ධවෙලා තියනව. ඉහත මත දෙකේ ඇත්තක් තියනව. ඒත් මේ කරගෙන යන විදිහට නොකර බැරිවෙලත් තියනව.

ජනාධිපතිතුමාට පක්‍ෂයේ නායකත්වය ගැනීමට ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිදුවුණා. ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ නායකත්වය අත්හැරියනම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ඡුන්ද ප‍්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට අහිමි වෙනව. ඇතැම් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ඡුන්දය දුන්නෙ එක්සත් ජාතික පෙරමුණට. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකය නිල නොවන විදිහට එම පක්‍ෂය බලයට ගෙනඒමට උත්සහ දරපු නිසා. ඒ නිසා ආණ්ඩුව පිහිටුවීමේ දී සැලකියයුතු බලපෑමක් ඇතිවුණා.. අනික් අතින් එයා පක්‍ෂය දාලා ආව නම් කොහෙවත් තැනක් නැති වෙනව. යූ.එන්.පී. එක බලයට එන්න ඕන කමට ඔහුව ජනාධිපති වශයෙන් පිළිගත්තට, ඔහුට පක්‍ෂයේ තැනක් දෙනවට පක්‍ෂයේ ජ්‍යේෂ්ඨයන්වත් සාමාජිකයන්වත් කැමති වෙන එකක් නෑ. මේ විදිහට නොකළ නම් තිස්ස අත්තනායකට වෙච්ච වැඬේ එයාටත් වෙනව. තිස්ස අත්තනායකට දැන් යන එන මං නෑ. ඒ අතින් මෛත‍්‍රීපාල මහතාගේ ක‍්‍රියා කලාපය ඉතාම සූක්‍ෂමයි. ඔහු උපක‍්‍රමශීලීව හැමදෙයක්ම බැලන්ස් කරගෙන යනව.

ආණ්ඩුවට එකතුවෙන්න කැමති අයට එකතුවෙන් දීල තියනව. අකමැති අයට වෙනම ඉන්න දීල තියනව. ආණ්ඩුවෙයි විරුද්ධ පක්‍ෂයෙයි එකම පක්‍ෂයෙ ඇමතිවරු ඉන්නව. වැරදි වැඩ කරපු අයට පරීක්‍ෂණත් පැවැත්වෙනව. මෙහෙම තත්ත්වයක් කවදාවත් තිබිල නැහැ.
එක්සත් ජාතික පක්‍ෂයට හවුල් හෝ ජාතික ආණ්ඩුවකට යන්නෙ නැතුව තනි ආණ්වක් පිහිටුවීමට හැකියාවක් තිබුණෙ නැද්ද?

තිබුණත් ඒක අවධානම් සහගතයි. සන්ධානෙට පුළුවන්කම තියනව එක්සත් ජාතික පෙරමුණෙන් පිරිසක් ඇමතිකම් දීල හෝ වරප‍්‍රසාද දීලා හෝ මුදල්වලට හෝ ගන්න. මහින්ද කලින් කෙරුවෙත් ඒ වැඬේ. අද පිරිසිදු දේශපාලන චරිත නැහැ. මේ පැත්තට ගත්ත වගේම ඒකෙ අනික් පැත්තත් සිදුවෙන්න තිබුණ.

ඒත් මේ කවදාවත් සිදුවෙයි කියල හිතන්න බැරි, ප‍්‍රධාන පක්‍ෂ දෙකේ එකතු වීම රටේ ඉදිරි ගමනට සුභදායකයි. අපවත්වී වදාල අති පූජ්‍ය සෝභිත නායක හාමුදුරුවොත් ඉල්ලූවෙත්, මේ එකතුවීම තුළින් රටට යහපතක් කරන්න කියලයි. එක්සත් ජාතික පක්‍ෂයට එක`ග නැති පිරිසටත් අද එක`ග වෙන්න සිදුවෙලා තියනව. ඉතින් මේ ඇති වෙච්ච තත්ත්වය තනි එක්සත් ජාතික පක්‍ෂ රජයකට වැඩිය හොඳයි කියන්න පුළුවන්, හොඳින් කළමණාකරනය කරගෙන රටට යහපතක් කරනව නම්.

අද මේ වන විට ජනතාව රජයෙන් ඈත් වෙලාද? ජනතාවගේ කළකිරීම ප‍්‍රයෝජනයට ගෙන යළිත් පෙරළියක් ඇති කිරීමට බලයේ හිටපු මහින්ද පිළට හැකිවෙයිද?

ජනතාවගේ දැඩි විවේචනයක් තියනව. ඒත් ජනතාව තවමත් ජනාධිපතිත්, ආණ්ඩුවත් සමග ඉන්නව. තමන් පත්කරගත්ත ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවෙනුත් රටට අවශ්‍ය වැඩ කටයුතු කරගන්න ඔවුන් විවේචනාත්මකව සහයෝගය දෙනව. මහින්ද දැන් ඉන්නෙ මැතිවරණයට පෙර තිබුණටත් වැඩිය පහළ තත්ත්වයක. ඇතැම් මාධ්‍ය ඔහුව ඉහළින් තබන්න හැදුවත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. දැනට තියෙන්නෙ මන්ත‍්‍රීවරුන් කීපදෙනෙකුගේ විවේචනයක්. ඒව දේශපාලන හේතූන් නෙමෙයි. එයාලගෙ ඡුන්ද පදනම තියාගන්න මොනවහරි කියල ජනතාවගෙන් ලකුණු දාගන්න කරන උත්සහයක්. මෙයාලටත් ඇමතිකම් ලැබුණනම්, ඔවුනුත් සුහච කීකරුව ඉඳියි.

මාර්තු 12 ව්‍යාපාරය ඇතූළු විවිධ සංවිධාන, මාධ්‍ය ආයතන පුළුල් ප‍්‍රචාරයක් ගෙන ගියා දූෂිතයන් පාර්ලිමේන්තුවට එවන්න එපා කියල. සුදුසු පුද්ගලයක් දේශපාලනයට ගේන්න කියල. ඒ ඉල්ලීම නිෂ්ඵල වෙලා තියනව නේද? බරපතල දූෂණ තියන පුද්ගලයන්, මිනීමැරුම් චෝදනා පවා තියන පුද්ගලයන් ජනතාව විසින් පත්කරගෙන තියනව නේද?

ජනතාවගේ තමන්ගෙ වගකීම පැහැර හැරල තියනව. තමන්ව පාලනය කරන්න අවශ්‍ය සුදුසු පුද්ගලයන් පත්කරගන්න ඔවුන් අපොහොසත් වෙලා තියනව. ඉතිහාසයෙ කිසිම සමාජ ක‍්‍රියාකාරකමකට නොදුන් ප‍්‍රසිද්ධියක් මේ මැතිවරණයේදී ‘යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්කර එවන්න’ කියන තේමාව සඳහා ලබා දුන්නා. එහෙත් ජනතාව ඒකට ඇහුම්කන් දුන්නෙ නෑ. පත්කරගන්න එපාමයි කියල කියපු පුද්ගලයො තමයි පළවෙනි තැනට මනාප අරගෙන තිබුණෙ.

ජනාධිපතිතුමා සහ එජාපය එතනදි තමන්ට පුළුවන් මට්ටමින් නුසුදුසුසන් ඉදිරිපත් නොකරනන වගබලාගත්ත. සමහර පුද්ගලයන්, හොරුන්, දූෂිතයන් බව දැන දැනම ඉදිරිපත් කරන්න සිද්ධ වුණා තමන්ගෙ පිළ ශක්තිමත් කරන්න අවශ්‍ය නිසා, ඔවුන්ගෙ ඡුන්ද පදනම ගැන හිතල. ජනතාව තමයි මෙතනදි බරපතල වැරැුද්ද කෙරුවෙ. හොරු, දූෂිතයො, මිනීමරුවො කියල හඳුන්වපු පිරිස, හා කිසිම උගත්කමක් නැති අය ජනතාව විසින් පත්කරල එව්ව.

ජනතාව එහෙම තොරාගැනීමකට පෙළඹෙන්නෙ ඇයි?

ජනතාවට දේශපාලන තීන්දු තීරණ ගැනීමේ අර්බූදයක් තියනව. ඔවුන් ප‍්‍රචාරයට වහල්වෙනව. මාධ්‍ය මගින් නිර්මාණය කරන ප‍්‍රතිරූප වන්දනා කරනව. ඔවුන්ට ලැබෙන රුපියල් තුන්සීයක් හාරසීයක් වටින බිත්ති ඔර්ලෝසුවට, සිල් රෙද්දට, වියළි ආහාර පාර්සලයට ඔවුන් තමන්ගෙ ඡුන්දය පාවිච්චි කරනව. ඔවුන් ඒ පිළිබඳව ඉන්නේ ඉතාම කණගාටුදායක ප‍්‍රාථමික දැනුමක.

ලැබුණය කියන නිදහසින් පස්සෙ දැන් ගෙවෙන්නෙ හත්වැනි දශකය. එහෙත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙ තවමත් අර්බූද, පාසල් වල විෂය නිර්දේශ සෑදීමේදී ගැටලූ තියනව. ලංකාවේ තියෙන්නෙ වෘත්තීය අභිමුඛ විෂය පද්ධතියක් නෙමේ කියල කියනව. විශ්ව විද්‍යාල වල හැමදාමත් අර්බූද. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට සිය අයිතිවාසිකම් ඉල්ලීමට උද්ඝෝෂණ කරන්න, පෙළපාලි යන්න සිද්ධවෙලා තියනව. අධ්‍යාපනය ක්‍ෂේත‍්‍රයෙ දීර්ඝ කාලයක් නිරත අයෙක් විදිහට ඔබ මේ පිළිබඳව දරන අදහස කුමක්ද?

විශ්වවිද්‍යාල තුළ හැමදාම ඔය අර්බූද තියනව. අපි විශ්වවිද්‍යාලයෙ ඉන්න 1970 වකවාණුව තුළත් ඔයවගේ තමයි. අපිත් නිතරම ඉල්ලීම් ඉල්ලල පාරට බැස්ස. ඒක තරුණ ජවයත් එක්ක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවෙන දෙයක්. මොන විදිහට ප‍්‍රශ්න විසඳුවත් ඒ ප‍්‍රතිවිරෝධය නවත්වන්න බෑ. දැන් තියන ප‍්‍රශ්න සියල්ල අද විසඳුවත් හෙට අලූත් ප‍්‍රශ්නයක් ඇති කරගෙන පාරට බහිනව. නිදහස් රටක, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියන රටක තියන අයිතිය ශිෂ්‍යයන් පාවිච්චි කරනව.

එහෙම නිදහසක් නැති රටක, ඒ බලය මත විශ්වවිද්‍යාල පවත්වාගෙන යනව කිසිදු ප‍්‍රශ්නයක් නැතිව. තව අතකින් ඉන්දියාවෙ කිසි ගැටළුවක් නැහැ. ඔවුන්ගේ පාඨමාලා නියමිත කාලය තුළ අවසන් වෙනව. ඒ රටේ එහෙම අරගල නැහැ. එතනදි වෙන්නෙ ඒ සන්දර්භය තුළ ඇතිවෙන හික්මීමක්. ඉන්දියාව දුගීභාවය ආත්මකරගත් රටක්. 80% ක් පමණ දුගීභාවය උරුම කරගත්ත රටක්. දුගී භාවය කිව්වෙ කන්න බොන්න නැති දුප්පත් කම ම නෙමෙයි. ඔවුන්ට පෞර්ෂයක් නැහැ, ඉල්ලීම් ඉල්ලල සටන් කරන්න. ඔවුන් අහිංසක ප‍්‍රජාවක්. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්. අපේ විශ්වවිද්‍යාල ප‍්‍රජාව සටන්කාමි ප‍්‍රජාවක්. ඔවුන් නිරන්තරයෙන් ඉල්ලීම් දිනාගන්න පෙළඹෙනව. ඒත් දැන් ඒ තත්ත්වය පමණ ඉක්මවා ගිහින් තියන බවක් පේනව. ඉතාම සුළුදෙයටත් ජනතාවට හිරිහැර වෙන ආකාරයට ඔවුන් හැසිරෙනව. මාධ්‍ය මගින් පුවත් මවා ගැනීමට මේ තත්ත්වය වර්ධනය කරන බවක් පේන්න තියනව.

එය වරදක්ද? රජය ජනතා ප‍්‍රශ්න ගැන අවධානයක් නැත්නම්, ජනතාව සටන් මාර්ගය තුළින් හෝ සිය අයිතිවාසිකම් ලබා ගතයුතුයි,
ජනතාව සිය අයිතිවාසිකම් ලබා ගැනීමට සුදුස්සන් වෙන්නෙ රටේ ඇතිවෙන සංවර්ධනයත් සම`ගයි. ඇමරිකාව, එංගලන්තය වැනි දියුණු රටවලට පවා මානව හිමිකකම්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය ලැබුණෙ ඔවුන්ගේ දියුණුවට සාපේක්‍ෂවයි.

මේ වන විට ඒ රටවල ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පවා බරපතල සිද්ධියක් හැටියටයි ගණන් ගන්නෙ. බිරිඳ පොලීසියට දුරකතන ඇමතුමකින් පැමිණිලි කෙරුවොත්, ‘මගෙ සැමියා මට පහර දෙනව’ කියල, ක්‍ෂණයකින් පොලීසිය එම ලිපිනයට පැමිණිලා ඔහුව අත්අඩංගුවට ගන්නව. දැනට ලංකාවෙ එහෙම නැහැනෙ. ඒ රටවල පුද්ගලයන් පිළිබඳව නිදහසක් තියනව. අපේ රටේ දියුණුවට වැඩි වේගයකින් අයිතිවාසිකම් ඉල්ලීම ඉස්සර වෙලා. අපේ රටේ මරන්න ගෙනියන, කුකුල්ලූ, හරක් වැනි සතුන්වත් ප‍්‍රමාණයට වැඩිය වාහනයක පටවල ගෙනියන්න බෑ. ඒ තරම්ම සංවේදිව, අවදියෙන් ඉන්න රටේ සංවර්ධනය ඉදිරියට ගිහින් තියනවද කියන එක ගැටළුවක්. ගමට පාරක් ඕනැ කියල උත්ඝෝෂණය කරනව. පාර හදන්න ගෙවල් කැඩෙන කොට ඒකටත් උද්ඝෝෂණ කරනව. සංවර්ධනයත් සම`ග හිමිකම් සාපේක්‍ෂ වුණොත් පමණයි බැලන්ස් එකක් තියෙන්නෙ. හැබැයි ඒකත් සීමාසහිතව වියයුතුයි. මහින්දගෙ කාලෙ අයිතිකාරයො දන්නෙත් නැ තමන්ගෙ ගෙදර තාප්පෙ කඩනකම්. ? තිබුණ තාප්පෙ උදේ බලනකොට නැ. තමන්ගෙ වත්තෙ කොටසක් පාර හදන්න ඩෝසර් කරල කියල දන්නෙ වැඩට ගිහින් එනකොට.

සිංගප්පූරුව වැනි ඇතැම් රටවල පනතක් මගින්ම නියෝගයක් දීල තියනව අවසර නැතිව පවරාගැනීම් කරන්න බෑ කියල. අපේ රටේ එහෙම නෑ. ඇතැම් අවස්ථාවල දේශපාලන පලිගැනීම්වලටත් පවරාගැනීම් සිද්ධ වෙනව. ක‍්‍රමවේදයක් නැතිකම තුළයි එහෙම වෙන්නෙ.

(මනෝජ් රූපසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *