කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ අලුතින් ඉදිකෙරෙන පර්යන්ත ගොඩනැඟිල්ලේ වහළයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මිලියන දෙදහස් දෙසීයක ඇස්තමේන්තු සහිත දැවැන්ත නෙළුම් මල ගැන අදාල අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වනු ලැබීමෙන් අනතුරුව එය ඉදිකිරීම නවත්වා තිබෙනවා.
මිලියන දෙදහස් දෙසීයක වියදමින් ඉදිකෙරෙන එම දැවැන්ත නෙළුම් මල පිළිබඳ අදාළ ඉංජිනේරුවන් සහ සෙසු නිලධාරින්ගෙන් අමාත්‍යවරයා විසින් පසුගියදා විමසීමක් සිදුකර තිබෙනවා.
ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ එම පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකරනු ලබන එම දැවැන්ත නෙළුම් මල අලංකාරය සඳහා ඉදිකරන්නක් බවත්, එය විශේෂිත ලෝහ වර්ගයකින් ඉදිකරන බවත්ය.
එහිදී එම නෙළුම් මලේ අලංකාරය දැකීමට හැකිවන්නේ කාහට දැයි විමසා බැලීමේදී එය ගුවන්තොටුපළට යන එන කිසිවකුටත් නොපෙනෙන දෙයක් වූ අතර එය දැකිය හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් බවත් අනාවරණය වී ඇත.
එහිදී මෙතරම් විශාල මුදල් සම්භාරයක් වියදම් කර මෙවැන්නක් සිදුකිරීමේ ඵල රහිත භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොටස අදාළ පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකිරීම අදාළ ගොඩනැගිලි සැලසුමෙන් ඉවත්කිරීමටයි උපදෙස් දී ඇත්තේ.
ඒ අනුව පසුගිය රජය සමයේදී මිලියන දෙදහස් දෙසීයක් වැනි අතිවිශාල මුදලක් වියදම් කර ඉදිකිරීමට ගිය අනවශ්‍ය කටයුත්තක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත අමාත්‍ය අර්ජුන රණතුංග මහතානවත්වා ඇත.
මෙම ගොඩනැගිල්ල මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ භූමියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මෙහි මුල්ගල තබන ලද්දේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි ජපන් අගමැතිවරයා විසින්ය.
නවීන පහසුකම්වලින් යුත් මෙම පර්යන්ත ගොඩනැගිල්ල තට්ටු තුනකින් සමන්විත වේ.