• Mon. Feb 6th, 2023

මළ එකාගේ පහනට කෙළින වාර්ගික සංහිඳියාව.?

jaffna

මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන කාරණය මෙම සංවාදයට හොඳ ප්‍රවේශයකි. මන්ද, මේ සරල කාරණයම පුද්ගලකාරකමය වශයෙන් ‘මම’ නමැත්තා ජීවත් වන සමාජ දේශපාලනික වපසරිය තුළ හිමි හඬ හා අනන්‍යතාව විශද කරන හෙයිනි. පුරවැසිභාවය සම්බන්ධයෙන් එය තීරණාත්මක භූමිකාවක් ඉටු කරයි.

‘ලංකාව බහුවාර්ගික රටකි’ යන සරල සත්‍යය තේරුණත් එය භාර ගැනීමට ආත්ම ශක්තිය නොමැති දකුණේ බහුතර දෘෂ්ටිවාදයට මේ දිනවල වැඩිපුරම රිදී ඇත්තේ උතුරේ වාර්ගික අරගලයේදී මිය ගිය දමිළ සොල්දාදුවන් (ඔවුන් ”කොටියන්” හෝ ”ත්‍රස්තයන්” වන්නේ දකුණට වන අතර ඔවුන්ගේ නෑ හිත මිතුරන්ට ඔවුන් තවමක් සිය ආදරණීයයන් බව පිළිගත යුතුය) ස්මරණය කිරීමට උතුරේ දමිළ ජනයා කටයුතු කර තිබීමය. මේ සම්බන්ධයෙන් සැලකිය යුතු පිරිසක් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සිය සුපුරුදු ජාතිවාදී ඇඬියාව ප්‍රකට කර තිබේ. මට සෑම විටම ප්‍රශ්නය පවතින්නේ ජාතිවාදය සම්බන්ධයෙන් ඍජු පියවර නොගන්නා බෙලහීන දේශපාලන ක්‍රමය සමග නොව පුදුමාකාර අවිචාරවත්භාවයකින් ජාතිවාදී අදහස් පළ කරන හුදී ජනයා සමගය. මන්ද, එදා මෙදා තුර කාලයේ ජාතිවාදයට යම් පැවැත්මක් තිබුණේ නම්, ඒ හුදෙක්ම පුරවැසි දෘෂ්ටිවාදය තුළම බව වන හෙයිනි.

 

11269783_991382310886361_4929568321252891850_nයුද්ධයේදී මිය ගිය අය සමරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පහනක් දල්වා සිය මතකය අවදි කරගන්ට දරන උත්සාහය  ‘කොටි හිස එසවීමක්’ යැයි ගැනීමට තරම් අප ආධානග්‍රාහී විය යුතු නැත. මා දකුණේ බහුතරයට ආරාධනා කරන්නේ උතුරේ දමිළ ජනයා තමන් වෙනුවෙන් සටන් වැද මිය ගියවුන් වෙනුවෙන් අදටත් පහනක් පත්තු කරන්නට ඉදිරිපත් වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගන්නා ලෙසය. අනෙක් අතට, පහනක් දැල්වීමෙන් තම ආදරණීයයන් සිහිපත් කිරීමෙන් ඔවුන් හුදෙක්ම බලාපොරොත්තු වන්නේ තමන්ගේ එවුන් වෙනුවෙන් සුසුමක් හෙළීම නම් එහි දිග පළල සොයන්නට බලධාරීන්ටත් ආරක්ෂක අංශවලටත් ඇති මානුශීය අයිතිය වෙනම ප්‍රශ්න කළ යුත්තකි. ලංකාවේ සිංහල බහුතරය මෙන්ම එය නියෝජනය කරන බලාධිකාරීන් ජීවිත් වන්නේ පුදුමාකාර ෆැන්ටසියකය. එල්ටීටීඊ ක්‍රියාකාරකම් නතර කිරීමත් සමගම දමිළ ජනයාට සම්පූර්ණ විමුක්තිය ලැබුණු බවත්, මේ නිසාම තවදුරටත් ඉල්ලන්නට යමක් ඔවුනට නොමැති බවත් මේ අය සිතා සිටිති. මේ දිනවල වාර්ථා වන හද සසලවන පුවතක් වන දේශපාලනික සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දුම්රියට පැන සියදිවි නසාගත් දමිළ පාසල් සිසුවාගේ සිද්ධිය මොවුන්ගේ මෙම ඊනියා ෆැන්ටසිය දියකර දමනු සමත් එකක් වන්නේ එම පදනම තුළය.

දකුණේ සිංහල බහුතරයට යුද්ධය ගැන ඇති ගනුදෙනුවම බොහෝ කරුණු අතින් ද්විතීයික මට්ටමේ එකක් වන අතර යුද්ධය පැවති කාලයේ පමණක් නොව අද පවා ඉන් ඍජු බලපෑම්වලට ලක් වන වැඩි පිරිස උතුරේ දමිළ ජනයා බව කීම අතිශයෝක්තියක් නොවේ. මා මින් පෙරද සඳහන් කර ඇති ආකාරයට යුද්ධය පිළිබඳ අත්දැකීම දකුණේ බොහෝ පිරිස් අත්වින්දේ රාත්‍රී ආහාරය ගන්නා ගමන් ත්‍රාස චිත්‍රපටයක් නැරඹීමේ ‘අමුතු’ පන්නයේ වින්දනයක් වශයෙනි. ‘යුද්ධය අවසන්, දැන් සියල්ල හොඳයි‘ යන දෘෂ්ටිය දැරීම තුළම දකුණේ සිංහල බහුතරයට යුද්ධය සමග පැවති සම්බන්ධය මනාව එළි වෙයි. බෞද්ධකම හිස් මුදුනින් අදහන රටක යුද්ධයේ අවසන් නිමේශය ආණ්ඩුගැති රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා විකාශනය කෙරුණේ කොතරම් නාට්‍යානුකූලවද යන වග අපට අමතක නැත. කොටියාගේ ලේ පිපාසාව ගැන පමණ ඉක්මවා කතා කරන සිංහලයා අතරද ලේ සහ ප්‍රතිවාදී මළ සිරුරු දැකීමේ පහත් ආශාවක් බෝ කරන්නට එවැනි මැදහත්වීම් හොඳටම ප්‍රමාණවත් විය. මේ සියලු කරණු අතරමැද අපට අමතක කරන්නට කිසිසේත්ම නොහැකි දෙය නම් යුද්ධයේදී මියගිය හමුදා සාමාජිකයන් ‘අහිංසක’ දෙමාපියන්ගේ, බිරින්දෑවරුන්ගේ හා දරුවන්ගේ ආදරණීයයන් වන්නේ යම් සේද, ඒ පමණටම මරණයට පත් වූ එල්ටීටීඊ සාමාජිකයන්ටද එවැනිම පවුලේ සාමාජිකයන් සිටි බවය. අද වන විට දකුණේ සිංහලයා උතුරේ දෙමළාගෙන් අපේක්ෂා කරන්නේ එලෙස මිය ගිය සිය පවුලේ සාමාජිකයන්ට එරෙහි වීම නම්, පහනක් දල්වා සිහිපත් කිරීමවත් මගහරින තැනට ඔවුන් තමාගේ ඈත් කරගැනීම නම්, එය කොතෙක් දුරට සාධාරණද හා මානුෂීයද යන වග ඔවුන්ගෙන්ම ඇසිය යුතුව ඇත.


මෙම සිංහල බහුතර දෘෂ්ටිවාදයේ පහත්ම එළිබැහීමක් මේ වන විටත් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. කුඩා දරුවෙකුද ඇතුළුව නිරායුධ දමිළ ජාතිකයන් අට දෙනෙකුගේ ගෙල සිඳ මරා දැමූ බවට තීන්දු කෙරුණු හමුදා සෙබළෙකුට මරණ දඬුවම නියම වූ පසු ගතානුගතික සිංහල බෞද්ධයින් එම අධිකරණ තීන්දුව පවා බරපතල දෝෂ දර්ශනයට ලක් කළේ ‘කොටි හිතවාදී නඩු තීන්දුවක්’ බව හුවා දක්වමිනි. එහෙත් මේ සෙබළා විසින් ද්වේශසහගත සමූහ මිනීමැරුමක් කර ඇතුවා මිස සිංහලයා හෝ රට වෙනුවෙන් කිසිම අලගෙඩියක් කර නොමැති බව සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය. එවැනි පසුබිමක් තුළදීද මෙවැනි මිනීමරුවෙකු ‘ජාතික වීරයෙකු’ බවට පරිවර්තනය කර ඔහුට මරණ දඬුවම දෙන්නටත් පෙරම පවා අධිකරණ තීන්දුවක් වුව අභියෝගයට ලක් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට දකුණේ සිංහලයාට හැකි නම්, තමන් වෙනුවෙන් සටන් වැද මිය ගිය, අවසානයේදී තබා ගත හැකි වූ එකම සිහිවටනය වූ සොහොන් කොත් පවා ඩෝසර් කරන ලද, ‘තමන්ගේ එවුන්‘ වෙනුවෙන් පහනක් පත්තු කරන්නට උතුරේ සහෝදර සහෝදරියන්ට ඉඩක් නොමැති වීමේ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය.

තමන්ගේ එකෙකු මළ පසු ඔහු/ඇය වෙනුවෙන් කම්පා වීම, ඔහු/ඇය සිහි කිරීම වැනි අතිශය පෞද්ගලික තීරණයක් අවහිර කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඔවුන් එසේ කළා කියා රටට වන හානියක්ද නැත.!

 

(අශාන් වීරසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *