• Sat. Jan 28th, 2023

අනතුරු වළක්වා ගන්න මංතීරු නීතිය අකුරටම පිළිපදින්න

manthiru nithiya

මීට දින තුනකට ඉහතදී රථවාහන පොලිස් මූලස්ථානය මඟින් ආරම්භ කරන ලද අපරික්ෂාකාරී මාර්ග ධාවනය (මංතීරු නීතිය පිළිනොපැදීම) සම්බන්ධයෙන් අදාළ නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවූ රියදුරන් සංඛ්‍යාව දෙදහස ඉක්මවා ගොස් ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම මංතීරු අනුගමනය කිරීමේ නීතිය ගෙන ඒමට කටයුතු කරන ලද්දේ අපරික්ෂාකාරීරිය ධාවනය නිසා සිදුකෙරෙන අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවීමට පටන්ගත් නිසා බව රථවාහන පොලිසිය සඳහන් කරයි. මහා මාර්ගයේ මංතීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අවස්ථාවක ඒවා හරහා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම තුළින් මේ අනතුරු සිදුවන බව හඳුනාගෙන ඇත.

මංතීරු උපදෙස් මෙන්න.

manthiru nithiya

විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට මෙසේ එම මංතීරු කපාහැර සෙසු වාහන ඉස්සර කිරීම මෙහිදී සිදුකළ නොහැකි වෙයි.

බරවාහන, යතුරුපැදි, ත්‍රිරෝද රථ ධාවනය කළ යුත්තේ වම් පැත්තෙනි.

එහෙත් මාර්ගයේ වම් පැත්තේ තදබල ලෙස වාහන හිරවීමක් තිබේ නම් එවැනි අවස්ථාවක මාර්ගයේ දකුණු පැත්ත පැහැදිලිව තිබේ නම් එවැනි අවස්ථාවක එම වාහන දකුණු පැත්තෙන් ඉස්සර කිරීම වැරැද්දක් නොවන බව රථවාහන පොලිසිය පවසයි.

තවද කොළඹ සිට ඉතා දුර ප්‍රදේශයක් (උදා – මාතර, ගාල්ල, ත්‍රිකුණාමලය ආදී) බලා ධාවනය කෙරෙන බස් රථයකටද දකුණුපස මාර්ගය පැහැදිලිතාවක් තිබේ නම්, දකුණු පසින් ධාවනය වන වාහනයකට අනතුරක් සිදුනොවේ යැයි ඒ අවස්ථාවේදී ස්ථිර නිගමනයකට එළඹිය හැකි නම් පමණක් එම බස් රථවලටද දකුණුපසින් ඉස්සර කිරීමේ වරදක් නොමැති බව රථවාහන පොලිසිය ප්‍රකාශ කරයි.

තවද අපරික්ෂාකාරී මාර්ග ධාවනයේදී සිදුකෙරෙන වැරැදි සඳහා රථවාහන පොලිසිය මඟින් කිසිසේත් දඩ කොලයක් නිකුත් නොකරේ. එම වැරැද්ද සිදුකළ රියදුරා සෘජුවම උසාවිය වෙත යොමුකිරීමේ පත්‍රිකාවක් නිකුත් කෙරේ. එහිදී විනිසුරුවරයාගේ තීරණය මත ඊට අදාළ දඬුවම් නියම කෙරේ.

මංතීරු නීතිය යනුවෙන් රථවාහන පනතේ වරදක් සඳහන් වී නොමැත. එය මහාමාර්ගවල මංතීරු අනුගමනය නොකර සිදුකරන වැරැදි ඇතුළත් වන්නේද අපරික්ෂාකාරී රිය පැදවීම යන වරද යටතටම වේ.

පසුගිය සිකුරාදා (27) ආරම්භ කෙරුණ මෙම සොයා බැලීම් වෙනුවෙන් මහාමාර්ගවල රාජකාරියට වැඩි රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් යොදවා තිබේ. කොළඹ පමණක් නොව සමස්ත දිවයිනේම නගර හා මංතීරු ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් කටයුතු සිදු‍කෙරේ.

මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසියේ අවධානය යොමුවී ක්‍රියාත්මක වීමෙන් පසු මහමඟ තිබෙන රථවාහන තදබදය වැඩිවී ඇති බව ඇතැම් පිරිස් ප්‍රකාශ කළත් කෙසේවත් මෙවැනි දෙයක් සිදුවී නොමැති බව රථවාහන පොලිසිය පවසයි.

මහා මාර්ගයේ වාහන තදබදය වැඩියෙන් ක්‍රියාත්මක වන්නේ පෙරවරුව, පාසල් ඇරෙන කාලය සහ කාර්යාල අවසන් වන කාලය තුළ බව හඳුනාගෙන ඇත.

මංතීරු අනුගමනය නොකර රියැදුරන්ට අවශ්‍ය පරිදි හිතුමතයට ක්‍රියාකිරීමට ඉඩහැරීම නිසා රියදුරන් කොටසක් කෙසේ හෝ තම රථය අපරික්ෂාකාරී ලෙස හසුරවමින් ගොස් තම වාසිය ලබාගන්නා අතර එම නීතිය හරියාකාරව පිළිපදිමින් වාහන ධාවනය කරන රියදුරන්ව තම ගමන හරියාකාරව යාමට ඉඩ නොලැබී බොහෝ වේලාවක් මාර්ග තදබදය තුළ ගත කිරීමට සිදුවන බවද පොලිසිය කියයි.

එබැවින් මෙම නීතිය ක්‍රියාත්මක වීම තුළින් මහා මාර්ගයේ සංවරව වාහන ධාවනයට ඉඩ ලැබෙන අතර සිදුවන අනතුරු සංඛ්‍යාවද සම්පූර්ණයෙන් මේ වනවිටත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇතැයිද රථවාහන පොලිසිය කියයි.

 

(විජයානි එදිරිසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *