ඉකුත් 25දා සිට කොටි මහවිරු සතිය ඉහළින් සමරන බවට ඇතැම් දමිළ දේශපාලනඥයින් හා වෙනත් පාර්ශ්ව පුරසාරම් දෙඩුවත් පසුගිය (29) වන විට ද ඉතාම සුළු සිද්ධීන් 2ක් හැරුණු විට වෙනත් කිසිදු කොටි සැමරීමක් හෝ නීති විරෝධී කිසිදු සිදුවීමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සිදු නොවූ බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටිති.
දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල හෝ වෙනත් ප්‍රදේශ වලින්ද සැලකිය යුතු තරමේ සිදුවීම් වාර්තා නොවුවද 25දා මුත්තූර් මලිගතිව් ප්‍රදේශයේ කොටි විරු සතිය කැනඩාවේදී 25දා සිට ආරම්භ වන බව දැක්වෙන කුඩා අත්පත්‍රිකා කිහිපයක් වෙල් යායක් තුළ දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබුණි. 27දා පස්වරු 6ට පමණ ත්‍රිකුණාමලය නිලාවේලි කයිලේස්වරම් දෙමළ මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පහනක් හා කපුරු පෙති කිහිපයක් යම් පුද්ගලයෙකු පත්තු කර ඇත. මේ අවස්ථාවේ පොලිස් ජීප් රථයක් එනු දැක එම පුද්ගලයා තමන් පැමිණි යතුරු පැදියද එම ස්ථානයේ දමා පලාගොස් ඇත.
යතුරු පැදිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය වෙනත් කාන්තාවක් සතු බවද එය හොර රහසේ රැගෙන විත් යම් කිසිවෙකු මෙම පහන් පත්තු කිරීම කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. නිලාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
