• Mon. Jan 30th, 2023

අතීතයට පසු නොබසිමු – අනාගතයට පිය ඔසවමු..!

old and future

ඉකුත් ජනවාරියේ පැවැති ගල උඩ සටනක් බවට පත්වූ ජනාධිපතිවරණයේදී ජය හිමි කරගත් මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දුන් 9 වැනිදා සවස් යාමයේ රට පුරා පැතිර ගිය කට කතාවකින් කියැවුණේ උතුරේ හමුදා කඳවුරුවලට ‘කොටි’ ගල් ගසන බවය. උතුරේ හෝ නැඟෙනහිර පළාතේ හෝ කිසිදු තැනක එවැනි කිසිවක් සිදු වී නොතිබුණු අතර පසුව හෙළිවූයේ ‘කට කතාව’ පරාජිතයන් පිරිසක් සංවිධානාත්මකව රට පුරා ප්‍රචාරය කර ඇති බවයි.

තිස් අවුරුදු ඊළාම් යුද්ධය හේතුවෙන් උතුරු-නැඟෙනහිර ජනතාවගේ ඉඩකඩම් ඇතුළු දේපොළ හමුදාවට පවරා ගැනිණි. අධි ආරක්ෂිත කලාප නම් කරනු ලැබීය. යුද්ධය නිමාවීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඇතැම් හමුදා කඳවුරු හා ඉදිකිරීම් ඉවත් කර අදාළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට වරින් වර පවරා දෙනු ලැබීය. ජනවාරියේ බලයට පත්වූ මෛත්‍රි-රනිල් ආණ්ඩුවද ඒ වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කෙළේය. එහෙත් දකුණේ අන්තවාදීන් ආණ්ඩුවට චෝදනා කරනු ලැබුවේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරමින් කොටියාට යළි හිස එසවීමට ඉඩකඩ සලසන බවය.

අත්අඩංගුවේ සිටින එල්ටීටීඊයට සම්බන්ධ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම උතුරේ ජනතාවගේ සාමූහික ඉල්ලීමකි. යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේ සිට 2014 දෙසැම්බර් දක්වා කාලයේදී අත්අඩංගුවේ සිටි එල්ටීටීඊ දේශපාලන සිරකරුවන් 390ක් අතරින් 140ක් නිදහස් කරනු ලැබුවේ එනිසාය. මේ ආණ්ඩුවද බලයට පැමිණියේ දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි. 1994 පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවටද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සාමූහික ඉල්ලීමකට මුහුණදීමට සිදුවිය. ඒ දකුණේ ජවිපෙට සම්බන්ධ සිංහල දේශපාලන සිරකරුවන්ය. කෙසේ වුවද තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ දේශපාලන සිරකරුවන් මාරාන්තික උපවාසයක් ඇරැඹූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රතිඥාව අනුව උපවාසය අතරමඟ නතර කරනු ලැබීය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 204ක් අතුරින් 39 දෙනකු කොන්දේසි සහිතව මුදා හැරිණි. අධිකරණයෙන් 56 දෙනකු වැරැදිකරුවන් වී සිටින අතර කිසිදු හේතුවක් නිසා හෝ ඔවුන්ට නිදහස ලබා නොදෙන බව අධිකරණ ඇමැතිවරයා ඉකුත්දා ප්‍රකාශ කළේය.

එල්ටීටීඊයට සම්බන්ධ කීප දෙනකු මෙලෙස ඇප මත නිදහස් කිරීම දකුණේ අන්තවාදීන් දකින්නේ කොටි ත්‍රස්තවාදීන්ට නිදහස දෙමින් රණවිරුවන් සිර කිරීමක් ලෙසය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිවුදෙනා ඉකුත්දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ‘රණවිරුවන්’ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. විමල් වීරවංශ නායකත්වය දරන ජානිපෙ මුල් පෙළේ නායකයන් දෙතුන් දෙනකු ඊට සහභාගිවී සිටි අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ රුවද උද්ඝෝෂණයට සම්බන්ධව පළවූ ඡායාරූපවල දක්නට ලැබිණි. ‘රාවණා බලය’ සංවිධානයත් ඊයේ ජනාධිපති ලේකම්, බන්ධනාගාර පිළිබඳ ඇමැති හා අධිකරණ ලේකම් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණේ ‘එක්නැළිගොඩ සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින ‘රණවිරුවන්’ නිදහස් කරගැනීම සඳහාය.

මිනිස් ඝාතන හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් ‘වැරැදිකරුවන්’ බවට ඔප්පු වේ නම් නීතියෙන් දඬුවම් දීම කවදත් සිදුවූවකි. කතරගම මනම්පේරි නඩු තීන්දුව ඊට ප්‍රකට උදාහරණයක් ලෙස සැලැකිය හැකිය. ඇඹිලිපිටිය සිසු ඝාතනය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබීය. ‘ධවල භීෂණ’ සමයේ විමල් වීරවංශ ඇතුළු දකුණේ බොහෝ දෙනකුට හමුදාව පෙනුණේ මිනීමරුවන් ලෙසය. හමුදා සෙබළුන් ඔවුන් දුටුවේ ද්‍රෝහියන් ලෙසය.
එල්ටීටීඊ සහ දෙමළ ඩයස්පෝරා සංවිධාන හෙවත් මවුබිමින් බැහැරව ජීවත්වන දෙමළ ජාතිකයන්ගේ සංවිධාන 16ක් ශ්‍රී ලංකා රජය විසින් ‘තහනම්’ කර තිබුණේ ඊළාම් ත්‍රස්තවාදයට සහාය දක්වන්නේය යන චෝදනාව මතය. එහෙත් දීර්ඝ සොයා බැලීමකින් අනතුරුව සංවිධාන 8ක තහනම ඉවත් කිරීමට ඉකුත් නොවැම්බරයේ ආණ්ඩුව පියවර ගත් අතර තහනමට ලක්කර තිබූ පුද්ගලයන් 424ක් අතරින් 155 දෙනකුගේ තහනමද ඉවත් කරනු ලැබීය. තවදුරටත් තහනම් සංවිධාන අතර එල්ටීටීඊය ඇතුළු ප්‍රබල ඊළාම්වාදී සංවිධාන කිහිපයක් තිබේ.

ඊළාම් යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබුණේ ලංකාවට එරෙහි ඊළාම්වාදයට පක්ෂව ක්‍රියා කළ සංවිධාන රැසක තහනම ඉවත් කිරීමත් අත්අඩංගුවේ පසුවූ එල්ටීටීඊ සැකකරුවන් නඩු නොඅසා නිදහස් කර හැරීමත් රටට අනතුරුදායක බවය. මහ විරු දිනය සැමරීමට උතුරේ පෝස්ටර් අලවමින් ඊළාම් කොඩිය එසැවීමට සූදානම් වන බවටද හෙතෙම අනතුරු අඟවා තිබිණි. හිටපු ජනාධිපතිවරයා පමණක් නොව මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු ප්‍රබලයෝ කිහිප දෙනෙක් කොටි හිස එසවීමක් ගැන පුන පුනා පවසති.
යාපනයේ 17 හැවිරිදි උසස් පෙළ සිසුවකු ‘දේශපාලන සිරකරුවන්’ නිදහස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ලිපියක් ලියා තබා දුම්රියට පැන සිය දිවි නසා ගත්තේ ඉකුත් සතියේය. ඒ සමඟම සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ පැවැති උද්ඝෝෂණවලට පාසල් දරුවන්ද එකතු වූ බව මාධ්‍ය පළ කර තිබිණි. මෙය කිසිසේත් යහපත් ප්‍රවණතාවක් නොවේ. උතුර යළි දේශපාලනයෙන් ගිනියම් වීම යළි ගිනි ඇවිළවීමට කල් බලමින් සිටින උතුරේ අන්තවාදීන්ට මහත් රුකුලකි. තලියේ කිඹුලන් පෙන්වන දකුණේ අන්තවාදීන්ට ඒ ගැන සිතීමේ වුවමනාවක් නැත. ආණ්ඩුව කොටින්ට උඩ ගෙඩි දෙන බවට ඇතැමුන් චෝදනා කළද උතුරේ කොටින් චෝදනා කරන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව රැවටූ බවකි. අන්තවාදී දෙමළ ඩයස්පෝරා සංවිධාන, දෙමළ ජාතික සන්ධානය පතුරු ගසමින් සිටින්නේ සිංහලයන්ට අවශ්‍ය ලෙස හැසිරෙන බවට චෝදනා කරමිනි.

2009 මැයි මාසයේ එල්ටීටීඊ පරාජයත් සමඟ ඇතිවූ ‘වෙනස’ ග්‍රහණය කරගනිමින් 2015 ජනවාරියේ සිදුවූ පෙරළිය පෙරට රැගෙන යෑමට වෙහෙසෙනවා මිසක යළි අතීතය කරා පසුබැසීමට නොහැකි බව සිංහල, දෙමළ හා මුස්ලිම් අන්තවාදීන් තේරුම් ගත යුතුය. මේ අතීත කාමයේ රෝගය වැලඳ නොගෙන අනාගතය කරා යෑමට සබුද්ධික ජනතාව සූදානම් වන්නේ නම් සියලු වර්ගයේ අන්තවාදීන්ට යන එන මං නැතිවනු නිසැකය.

 

(මව්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *