• Fri. Feb 3rd, 2023

තාජුඞීන් ගැන පරීක්ෂණ කල් ඉකුත් වී ඇත

rgadujin

දෙසැම්බර් මස 10 වැනිදා මොහොමඞ් තාජුඞීන්ගේ නඩුව නැවත විභාගයට ගැනීමට නියමිතය. එය තවත් එක් නඩු වාරයක් වේදැයි අවිනිශ්චිතය. දේශපාලන ගොදුරක් වූ තාජුඞීන් ඉන් පසුවද ප‍්‍රතිවිරුද්ධ දේශපාලනයේ ගජරාමෙට වෙන්දේසි විය. මහ මැතිවරණයට පෙර තාජුඞීන් පිළිබඳ කතාබහ ගොඩ දැමුවේ තාජුඞීන්ගේ වළ දැමූ සිරුරද ගොඩගනිමිනි. මහ සද්දෙට ගොඩගත් සිරුර හීන්සීරුවට වළ දැමීය. දැන් තාජුඞීන්ගේ දේහය කරතබාගෙන කරන්නට දේශපාලනයක් නැත. ඒ සියල්ල අහවරය. එවන් පසුබිමක තාජුඞීන්ට සාධාරණයක් වේයැයි සිතීම දෙකට දෙගිඩියාවට වැටී ඇත. තාජුඞීන්ගේ මරණය යහපාලන ආණ්ඩුවට ඉල්ලමක් වූ බව සැබෑය. එහි උපරිම ප‍්‍රයෝජන ගත් බවද සැබෑය. එසේ නම් දැන් කළයුතුව ඇත්තේ තාජුඞීන්ගේ මරණයට සාධාරණයක් ඉටුකිරීමක් නොවේද?

දෙසැම්බර් 10 වැනිදා යහපත් තීන්දුවක් ලැබෙතැයි බලාපොරොත්තුවක තාජුඞීන්ට ළැදිවූවෝ වෙසෙති. තාජුඞීන්ට කළ අපරාධය ගැන කම්පා වූ සැවොම බලාපොරොත්තු වන්නේද ඒ යුක්තියමය.

තාජුඞීන්ගේ මරණයට ඈඳුණු දේශපාලන පුත්තු අද හෙට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනෙතැයි ජනතාව සිතුවද ඒ කිසිවක් සිදු නොවීය. සේයාගේ ඝාතනයේදී සැක සැවොම ප‍්‍රශ්න කරන්නට ගත් මුත් තාජුඞීන්ගේ සිද්ධියේදී සිදුවූවේ වෙනකකි. එනම් හුදු සැකයට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ නොහැකි බවත් ඒ සඳහා නිට්ටාවටම තහවුරු කරගෙන අත්අඩංගුවට ගත යුතු බවත් ප‍්‍රකාශවීමය. එසේ නම් ටක්කෙටම අපරාධකරුවන් තහවුරු කරගනුයේ කවදාද? ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවන්නේ කෙදිනකද? මේවා තාජුඞීන්ගේ ඝාතනය තරම්ම අබිරහස් ගැටලූද?

සිරුර ගොඩ ගැනීම

තාජුඞීන්ගේ සිරුර ගොඩගැනීම කළ යුතු දෙයක් වුවත් එය මැතිවරණය ඉලක්ක කොට ගොඩනැගීම ගැටලූසහගතය. එම ගොඩනැගීමද සංදර්ශනාත්මක විය. එය එසේ වූවාට කිසිදු ගැටලූවක් නොවන්නේ එහි ඉදිරි කටයුතුද කඩිනමින් සිදුවන්නේ නම්ය. එහෙත් තුන් මසක් ගෙවෙන තැන තාජුඞීන් කෙනකු මතකයේවත් නැති ගාණය. ගොඩගත්තේ තාජුඞීන්ගේ සිරුරමද යන ගැටලූව ඉන්පසු මතුවිය. අවසානයේ පරීක්ෂණ ප‍්‍රතිඵල මත එය තාජුඞීන්ගේ සිරුරම බව පිළිගත්තේය.

කොටස් අතුරුදන්

තාජුඞීන්ගේ සිරුර පරීක්ෂා කිරීමේදී තහවුරු වන්නේ එහි ඇතැම් කොටස් අතුරුදන් බවය. අතුරුදන් කොටස් මරණ පරීක්ෂණවලදී අතුරුදන් වී ඇතැයි උපකල්පනය ය. එය එසේ වන්නේ මරණය පිළිබඳ වෙනස් මානයක් ගැනීම වැළැක්වීමට විය හැකිය. එය බොහෝ විට පහරදීම් සියල්ල අතරේ තාජුඞීන්ට වෙඩි තබන්නට ඇතැ’යි යන විශ්වාසය ඉහළට ගෙන ඇත. එලෙස අතුරුදන් කළ කොටස් වෙඩි වැදුණු සලකුණුවලින් සමන්විත වන්නට ඇතැ’යි යන්න දැන් ඇතැම් පාර්ශ්වවල සැකය ය. එසේ නම් තාජුඞීන් යනු තදබල වෛරයක බිල්ලක් වූ බව සැබෑය. එය මේ තරමට සොයා ගැනීමට නොහැකි ගැටලූවක් වූයේ කෙසේද? ඡන්දයට පෙර එළියට ආ නම්, වාහන අංක අද කෝ? ඒ ගැන කළ පරීක්ෂණ මොනවාද?

අවසානයට සිටි අය

තාජුඞීන් මියයන දා මියයෑමට පෙර ඔහු සමග සිටි අය මේ ගැන කිසිවක්ම නොදන්නේද? තාජුඞීන් තනිව ගිය අවසන් ගමනට පෙර ඔහු සමග කාරයේ සිටියේ කවුද? කෙනෙක් මොහොමඞ් සාකිර් බදුර්දීන්ය. අනෙක් අය චාමින්ද ජෙයප‍්‍රකාශ්ය. ඊට අමතරව මරියානා රශ්මිද සිල්වාය. මරියානා චාමින්ද ප‍්‍රකාශ්ගේ පෙම්වතිය බව පැවසේ. එදින රාත‍්‍රියේ මොවුන් මධුවිත භාවිත කොට ඇති අතර එම ස්ථාන නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා මරියානාගේ කටඋත්තරය වැදගත්ය.

අභාග්‍යය

තාජුඞීන් මියයනුයේ 2012 මැයි 16 වැනිදාය. එහෙත් නාරාහේන්පිට පොලිසිය ප‍්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගනුයේ මැයි 21 වැනිදාය.
මෙම සාක්ෂි සටහන් දෙස විමසිලිමත් වනවිට එහි පරස්පරතා දැකිය හැක. මරියානා පවසන ආකාරයට සාක්ෂිකරුවන් දෙපළ සහ තාජුඞීන් ඇන්ඩර්සන් පෙදෙසේ නිවසින් පිටත්ව යනුයේ රාත‍්‍රී එකොළහට පමණය. එහෙත් මොහොමඞ් සාකීර් සහ චාමින්ද කියනුයේ ඔවුන් පිටව ගියේ රාත‍්‍රී 11.30ට පමණ බවය.
සාක්ෂි අනුව තාජුඞීන් මුලින්ම ගොස් ඇත්තේ අංක 36, ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි චාමින්දගේ නිවසටය. ඉන්පසුව අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන පිහිටි මොහොමඞ් සාකීර්ගේ නිවසට ගොස් ඇති බව සාක්ෂිවල සටහන්ය.

සැකය

තාජුඞීන්ගේ ඛ්Q 6543 මෝටර් රථය තම මිතුරන් ඇරලවන්නට ගියේ නම් ඉන්පසු තාජුඞීන් අංක 15 නිහාල් සිල්වා මාවතේ පිහිටි මොහොමඞ් සාකීර්ගේ නිවසේ සිට කොළඹ 6, මුරුගන් පෙදෙසේ ඇති තම නිවස පසුකරමින් කිලෝ මීටර් 1.05ක් ඈතින් අනතුර සිදුවූ පාර්ක් පාර වෙත ගමන් කළේ ඇයි? තාජුඞීන් මියගිය පසු ඔහුගේ දුරකතනය හසුවූයේ කිරුළපනින් බව වාර්තා විය. එසේ නම් මොහොමඞ් සාකීර් බස්සවා එන තැන සිට තාජුඞීන් සමග තව අය ගියේද? එසේ ගියේ නම් ඒ කවුද? තම නිවසට නොහරවා තාජුඞීන්ගේ වාහනය කිලෝමීටර් 1.5ක් ඈතින් පිහිටි පාර්ක් පාර වෙත ගමන් කළේ කුමන හේතුවකටද? මේවා වසර තුනක් ඉක්මවන තැනදීත් හෙළිදරව් කරගත නොහැකි වූයේ ඇයි? රාජපක්ෂ පාලන සමයේ ඒ කිසිවක් කළ නොහැකි නම් යහපාලන පලනයටත් වසරක් කිට්ටු වන තැන එය විසඳාලිය නොහැක්කේ මන්ද? තාජුඞීන් මිනීමරුවන් ඒ තරම්ම ප‍්‍රබලද?

මෙය පසුගිය රජය සමයේ ඉහළම පිරිස් අතින් සිදුවූ බව ප‍්‍රබලම සැකයය. එහෙත් එය මේ වනවිට හුදු සැකයට එහා නොයන තැනකට තල්ලූ වී ඇත. තාජුඞීන්ගේ මරණය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගේ සිට තාජුඞීන්ගේ මරණ පරීක්ෂණය කළ මරණ පරීක්ෂකගේ සිට සියල්ල දෝෂසහිතය. ඒ සියල්ල එසේ වුවත් සාමාන්‍ය මිනිසුන් අතර වුව පිළිගැනීම තාජුඞීන් මරා දැමූ බවය. මරාදැමූයේ අහවලූන් බවය. එහෙත් මෙරට පොලිසියට තවමත් තාජුඞීන්ගේ මිනීමරුවන් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

ආණ්ඩු මාරුවූ සැණින් මිනීමරුවන් වේගයෙන් එළියට ආවද නැවත ඒ සියල්ල හුදු මනඃකල්පිතයක් විය. තාජුඞීන්ගේ මරණය වෙනුවෙන් දේශපාලනය පෙනී සිටියද ඉන් එහාට ඒ වෙනුවෙන් ඍජුව පෙනී සිටින්නකු නොපෙනේ. තාජුඞීන්ගේ මව්පියන් තුළ වුව මේ වනවිට අප‍්‍රසන්නභාවයක් පැනනැග ඇතිවාට සහතිකය. ජනපති තාජුඞීන්ගේ මාපියන් සමග පෞද්ගලිකවම කතා කොට තාජුඞීන්ගේ මරණයට සාධාරණයක් ඉටුකරන බවට පොරොන්දු වී ඇත. ඒ සියලූ පොරොන්දු මැතිවරණ වේදිකාවල පොරොන්දු තත්ත්වයටම පත්වී ඇත.
තාජුඞීන්ගේ මරණයට හෙට දවසේ විසඳුමක් ලැබෙනු ඇත්ද? දෙසැම්බර් 10 වැනිදාට නැවතත් එය කල් දික්වූ තවත් නඩු දිනයක් වනු ඇත්ද? දැනටමත් තාජුඞීන්ගේ මරණය කල් ඉකුත් වූ පරීක්ෂණයක් බවට පත්වී ඇත. හිතාමතාම කල් ඉකුත් කර ඇත.

 

ටිරන් කුමාර බංගගමආරච්චි
(රාවය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *