• Mon. Jan 30th, 2023

ලංගමට බස් ගනිද්දී කෝටි 280ක් වංචා කරලා

kumara welgama

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් බස් රථ දෙදාස් දෙසීයක් ගෙන්වීමේදී සිදු කළ රුපියල් කෝටි 280ක මහා මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ සහ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහත්වරු ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් බස් රථ දෙදාස් දෙසීයක ප්‍රමාණයක් ගෙන්වීමේදී මෙරටට බස් රථයක් ගෙනඒමේදී යන වියදමට ව ඩා ඩොලර් දසදහසකට වැඩි මුදලක් ඊට එකතු කර මේ මහා වංචාව සිදු කරඇති බව ඇමැතිවරු පෙන්වා දෙති.

ප්‍රවාහන අමාත්‍යාංශය එම වංචාවට අදාළ සියලුම තොරතුරු අනාවරණය කරගෙන ඊට අදාළ ලේඛන සියල්ලක්ම අදාළ ගනුදෙනුව සිදු කළ සමාගමෙන්ද ලබාගෙන තිබේ.

2012 වර්ෂයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් එක්දහස් පන්සියයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

එහෙත් එම කැබිනට් අනුමැතියට එහා යමින් බස් දෙදාස් දෙසීයක් ගෙන්වා තිබේ.

ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් එක් බසයක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් තිස්දහසකටය. එම බස් රථයක් වරායට පැමිණීමේදී වරාය ගාස්තු සහ අදාළ බදු වශයෙන් තවත් ඩොලර් දසදහසක් ඊට එකතු කර ඇත. අනතුරුව ගමනාගමන මණ්ඩලයට එම බස්රථයක් ලබාදී ඇත්තේ ඩොලර් පනස් දහසකට බව සොයාගෙන ඇත.

ඒ අනුව බස් දෙදාස් දෙසියක් ගෙන්වීමේදී රුපියල් කෝටි 280ක මුදලක් අමාත්‍යවරයාගේ සාක්කුවට ගොස් ඇතැයි සැකකරන බව අශෝක් අබේසිංහ සහ රන්ජන් රාමනායක මහත්වරු පවසති.

සාමාන්‍යයෙන් බස් රථ දහයක් මිලදී ගැනීමේදී එක් බස්රථයක් අදාළ සමාගමෙන් නොමිලේ හිමිවෙයි. ඒ අනුව දෙදහස් දෙසීයක් මිලදී ගැනීමේදී නොමිලේ ලැබුණු බස් රථ ප්‍රමාණය ද ගමනාගමන මණ්ඩලයට විකුණා ඊටද මුදල් ලබාගෙන ඇතැයි සැක කෙරේ.

තවද හිටපු අමාත්‍යවරයා විසින් ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් සැපයීමට වෙනම ආයතනයක් පිහිටුවා ඇත. එම ආයතනයෙන් ගෙන්වා සපයා ඇති අමතර කොටස් බාල වර්ගයේ ඒවා බවද හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධවද පරීක්ෂණයක් සිදු කෙරෙන බව නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය.

අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නැයි ඔවුන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *