• Mon. Jan 30th, 2023

අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරල තියෙන්නෙ සියයට 2.72 යි – ආචාර්ය නිර්මාල්

nirmal ranjiith

මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සියයට 5.73ක්‌ වෙන් කළ බව ආණ්‌ඩුව කියයි. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන්නේ වෙන් කර තිබෙන්නේ සියයට 2.7 ක්‌ බවයි. මේ ආණ්‌ඩුව බිහිකිරීම වෙනුවෙන් විශාල දායකත්වයක්‌ සැපයූ එමෙන්ම අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක්‌ වෙන් කරන ලෙස ඇරඹූ සටනේ නියමුවා වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල පිළිබඳ කරන විග්‍රහයකි මේ.

අපේ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක්‌ අධ්‍යාපනයට වෙන් කරන බවට මේ ආණ්‌ඩුව ප්‍රතිඥාවක්‌ දුන්නා. මේ අයවැයෙන් අධ්‍යාපනයට ඒ මුදල ලැබුණද?

ආණ්‌ඩුව කියනවා මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සියයට පහයි දශම හතරයි තුනක්‌ වෙන් කළා කියල. නමුත් මේ ගැන විමර්ශනය කර බැලිය හැකි විද්වත් පිරිසක්‌ ඒ පිළිබඳ සොයා බලල සකස්‌ කළ වාර්තාවක්‌ ගැන පසුගියදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේදී සාකච්ඡා කළා. මේ වෙන්කළාය කියන මුදල ගැන මාධ්‍ය හමුවේ කරුණු හෙළිදරව් කළේ ඊට පස්‌සෙ.මේ අයවැයෙන් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහයි දශම හතරයි තුනක්‌ වෙන් කළා යෑයි කියන ආණ්‌ඩුවේ ප්‍රකාශය අසත්‍යයක්‌. හරියට ගණන් හදල බැලුවම අධ්‍යාපනයට වෙන් කරල තියෙන්නෙ සියයට 3.7 යි.

ඒ 3.7 තුළත් ගැටලුවක්‌ තියෙනව. පාසල් ගොඩනැඟිලිවල වටිනාකම වැනි දේ එනම් මූල ධන වත්කම් වැනි දේවලුත් ගණනය කරල තමයි ඔවුන් මේ මුදල හදල තියෙන්නෙ. ගිණුම්කරණයේදී එය අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා වැයකරන මුදල අවුරුද්දකට වෙන් කරන එකක්‌ නෙමෙයි. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදලට එය එකතු කිරීම වැරදියි. මිලියන 121 කට කිට්‌ටු මුදලක්‌ එම ශීර්ෂය යටතේ වෙන් කරල තියෙනව. මේ තුනයි දශම හතෙන් ඒ මුදල අඩුකළාම ඇත්තවශයෙන්ම අධ්‍යාපනයට වෙන් කරල තියෙන්නෙ සියයට 2.72 යි. 2014 දී පසුගිය රජය 2015 වසරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළේ සියයට 1.97 යි. ඒ අනුව මේ සියයට 2.72 පසුගිය රජයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලට වඩා සියයට 31 ක වැඩිවීමක්‌.

පසුගිය දිනවල ඔබට චෝදනාවක්‌ එල්ල වුණා අධ්‍යාපනයට සියයට හයක්‌ ඉල්ලල කෑගහපු නිර්මාල් කෝ දැන් කියල.?
ඇත්තටම ඔබ නිහඬ වුණාද.?

මේ සියයට හයේ ඉල්ලීම මගෙ පුද්ගලික ප්‍රශ්නයක්‌ නෙමෙයි. ඒ වගෙම අපි කරන දේවල් හැමදේම කියන්න බෑ. දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිත් නෙමෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ සම්බන්ධයෙන් නිහඬව හිටියේ නෑ. මේ ආණ්‌ඩුව දින සියය කාලෙ ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් මේ සියයට හයේ ඉල්ලීම ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගත්ත. ඒ පිළිගැනීම අපි ආණ්‌ඩුවේ සාධනීය ලක්‌ෂණයක්‌ විදිහට භාරගෙන සියයට හයක්‌ අධ්‍යාපනයට වෙන් කළහම කළයුත්තේ මොනවද කියල වාර්තාවක්‌ හදල භාරදුන්න.

දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6 ක්‌ එකපාරටම වෙන් කරන්න කියල අපි කිව්වෙ නෑ. දේශපාලනයේදී ඔය ප්‍රකාශ ඕනකෙනෙකුට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දින සියයේදී සියයට 6 ප්‍රතිපත්තියක්‌ වශයෙන් ආණ්‌ඩුව පිළිගත්තට පස්‌සේ විය යුත්තේ කුමක්‌ද කියල අපි ලේඛනයක්‌ හැදුවා. ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයියක අධ්‍යාපනයේ තිබෙන අර්බුදය ජයගත හැකි එක කාරණයක්‌ වන්නේ අධ්‍යාපනයට කරන රාජ්‍ය වියදම වැඩිකිරීම බව අපි එහි පැහැදිලිව සඳහන් කළා. සියයට හය ඉල්ලීමේ ප්‍රායෝගික පැත්ත තමයි ආණ්‌ඩුව අධ්‍යාපනයට කරන වියදම ක්‍රමානුකූලව වැඩිකළයුතුයි කියන එක. 1995 සිට සංඛ්‍යාලේඛන අරගෙන බැලුවොත් අධ්‍යාපනයට වැය කළ මුදල ක්‍රමයෙන් අඩුවූ බව පැහැදිලියි. ඊට සාපේක්‌ෂව අධ්‍යාපනයේ බිඳවැටීමකුත් තියෙනවා. අපි කිව්වෙ ඒක අනිත්පැත්තට හරවන්න ඕන කියලයි. එකපාර සියයට 6 ක්‌ වෙන් කරන්න කියල නෙමෙයි අපි කිව්වෙ පියවර කිහිපයකින් අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩිකරන්න කියලයි. පළමුවෙනි අදියර හැටියට වෙන් කරන මුදල සියයට 30 කින් වැඩිකරන්න කියලත් අපි යෝජනා කළා.

එහෙම නම් ඒ අනුව ආණ්‌ඩුව මේ අයවැයෙන් ගිය ආණ්‌ඩුවේ අයවැයට වඩා සියයට 31 ක්‌ අධ්‍යාපනයට වෙන් කරල තියෙනව නේද.?

ඔව් වෙන් කරල තියෙනව. කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් ඇයි ඒ ගැන සතුටු වෙන්නෙ නැත්තෙ කියල. සතුටු වෙන්න බැරි ප්‍රශ්නයක්‌ තියෙනව. දැන් අපි සද්ද නෑ කියල ඔය කෑගහන අයත් සැලකිල්ලට ගන්නෙ නැති ඒ ප්‍රශ්නෙ මෙන්න මේකයි.

අධ්‍යාපනයට මුදල් වැඩි ප්‍රමාණයක්‌ වෙන් කළහම ඒ මුදල් වියදම් කළ යුත්තෙ කොහොමද කියල අපි වාර්තාවක්‌ හැදුවා. අපි එයින් පෙන්වා දුන්නා ප්‍රමුඛතා දිය යුත්තේ මොනවටද කියල. කළයුතු දේවල් හඳුනාගෙන ඒ ඒ අංශවලට මුදල් වෙන් කරන්නෙ නැතිව අධ්‍යාපනයට කියල නිකම් මුදල් වෙන්කළාට වැඩක්‌ නෑ. නිසි තක්‌සේරුවක්‌ ඇතිව එක්‌ එක්‌ අංශවලට ඒ මුදල් බෙදා වෙන්කරන්න ඕන. එහෙම හරි විදියට වෙන් නොකළම වෙන්නෙ ඒ මුදල් පාවිච්චි වෙන්නෙ නෑ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනිය මහාචාර්ය ක්‌ෂණිකා හිරිඹුරේගම මහත්මියත් ප්‍රකාශ කළ කාරණයක්‌ තමයි වෙන්කරපු සමහර මුදල්වලින් සියයට 70 ක්‌ විතර ආපසු එනව කියල. ඒකෙ ඇත්තක්‌ තියෙනව. ඒකට හේතුව භාවිත කළ යුතු ආකාරය පිළිබඳ තීරණයක්‌, තක්‌සේරුවක්‌ නැතිව මුදල් වෙන්කිරීම. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ඉදිරිපත් කළා මේ වැඩිකරන මුදල් වෙන් කළ යුත්තේ කවර අංශයන් වෙනුවෙන්ද කියල.

මේ අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම තුළ ප්‍රශ්න දෙකක්‌ තියෙනවා. වෙන් කර ඇති මේ මුදල කවර අංශයකට කවර කාරණයක්‌ වෙනුවෙන් වෙන් කළාද කියල පැහැදිලි සඳහනක්‌ අපට පේන්නෙ නෑ. අනිත් ප්‍රශ්නය අපි මේ සියයට හය පදනම් කරගෙන ගෙන ගිය මුළු සාකච්ඡා මාලාව තුළම අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ පැහැදිලි දර්ශනයක්‌ තියෙනවා. එහි තිබෙන මූලික ලක්‌ෂණ කිහිපයක්‌ නම් අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක්‌ නොවිය යුතුයි, අධ්‍යාපනය විකිණීමට නොවේ කියන එක. සියයට හයේ ඉල්ලීම හරහා අපි ඉදිරිපත් කරපු දාර්ශනික පදනම එයයි. නමුත් මේ අයවැයෙන් අධ්‍යාපනයට වැඩි මුදලක්‌ වෙන්කිරීම පිටුපස තියෙන්නෙ ඒ දාර්ශනික පදනම නෙමෙයි. උදාහරණයක්‌ හැටියට අධ්‍යාපනයට වෙන් කළ මේ මුදලින් ආණ්‌ඩුව මිලියන 9800 ක්‌ එනම් බිලියනයකට කිට්‌ටු මුදලක්‌ යම් යම් කටයුතු සඳහා වෙන් කරල තියෙනව. ඒවායින් අංක එකට තියෙන්නෙ මහපොළ විශ්වවිද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම. මේ මහපොළ විශ්වවිද්‍යාලය කියන්නෙ මාලබේ දැනට පිහිටුවා තිබෙන ස්‌ලිට්‌ වගේ ආයතනයක්‌. ඒක රාජ්‍ය ආයතනයක්‌ වුණාට වාණිජ පදනමක්‌ මත ක්‍රියාත්මක වන ආයතනයක්‌. ඒකෙ පාඨමාලා හදාරන්න ඕන මුදල් ගෙවල. මේ මහපොළ විශ්වවිද්‍යාලයත් ඒ විදිහට තමයි පවත්වාගෙන යන්න හදන්නෙ. ව්‍යාපාරික පදනමක්‌ මත ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයක්‌ ඇතිකිරීමට මුදල් වෙන් කිරීම සියයට හයේ ඉල්ලීම ඇතුළට දැමීම පිළිගන්න බෑ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි අයට මුදල් ගෙවල ඉගෙනගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවා පිළිගෙන තිබෙන විවෘත විශ්වවිද්‍යාලය වැනි ආයතන වෙනම ඒවා. මේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරපු සියයට 2.7 තුළට මහපොළ විශ්වවිද්‍යාලය වගේ ආයතන ඇතිකරන්න මුදල් වෙන්කිරීම වැරදියි. මේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඒ මුදලින් කොපමණ ප්‍රමාණයක්‌ වැයවෙනවද කියලවත් කවුරුවත් දන්නෙ නෑ.

අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක්‌ නම් ගුරු පුහුණුව. අපේ රටේ අද තිබෙන සමස්‌ත ගුරු පුහුණු වැඩපිළිවෙළම වෙනස්‌ කරන්න ඕන. මේ ප්‍රශ්නය විසඳන්න මේ මුදලින් කොපමණ ප්‍රමාණයක්‌ වෙන් කරල තියෙනවද කියල කිසිම සඳහනක්‌ නෑ. කොටින්ම කියතොත් අධ්‍යාපනය පිළිබඳ අපි කළ සාකච්ඡාව සහ මේ මුදල් වෙන් කිරීම අතර කිසිම සම්බන්ධයක්‌ නෑ. ගුරු වැටුප් වැඩිකිරීම, වැටුප් වර්ධක සම්බන්ධයෙන් කිසිම පැහැදිලි වැඩපිළිවෙළක්‌ මේ තුළ නෑ. කොටින්ම මේ වෙන් කළ මුදල අපේ රටේ අධ්‍යාපනයේ අද තිබෙන අර්බුද ජයගැනීම සඳහා ප්‍රයෝජනයක්‌ වෙයිද කියල සැකසහිතයි.

සාකච්ඡා කළේ,
පාලිත සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *