හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ ඥාති සංග්රහයක යෙදී ඇති බවට බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.
නිවාස සංවර්ධන අධිකාරියට අයත් මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකළ රුපියල් කෝටිය බැගින් වටිනා නිවාස පහෙන් හතරක්ම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මුදල් අය කිරීමකින් තොරව ළඟම ඥාතින්ට ලබාදී ඇති බවයි එමඟින් හෙළි වී ඇත්තේ.
එසේම අමාත්‍යවරයා සමඟ හිතවත්කම් පැවැත්වූ නිරෝෂා නානායක්කාර නැමති කාන්තාවකට ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් මාලිගාවත්ත නිවාස යෝජනා ක්රමයේ නිවසක් අඩු මුදලකට ලබාදී ඇති බවටද හෙළි වී තිබෙනවා.
මීට අමතරව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මිලින්ද රත්නායක නැමැත්තාටද නිවසක්, මුදල් අය කිරීමකින් තොරව විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ලබාදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බවයි කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.