• Sat. Jan 28th, 2023

කෝටි දහතුනේ ගොවිසෙත සුපිරි ලොතරැයි තෑග්ග ඇඹිලිපිටියට

gowisetha

මෙරට ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ත්‍යාග මුදල වන රුපියල් දහතුන්කෝටි දහතුන්ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි සත හතළිහක (131,360,136.40) ක මුදල් ත්‍යාගය පෙරේදා (19) දිනුම් අදිනු ලැබූ ගොවිසෙත ලොතරැයියේ දිනුම් වාරයේදී ඇඹිලිපිටිය ප‍‍්‍රදේශයේ ගුරුවරයකු විසින් දිනාගෙන තිබේ.

එය මෙරට ඉතිහාසයේ ජයග‍‍්‍රාහකයකු වෙත මෙතෙක් පිරිනමනු ලැබූ විශාලතම ත්‍යාග මුදල වීම ද විශේෂත්වයකි.

ජයග‍‍්‍රාහී ලොතරැයිපත ඊයේ (20) පෙරවරුවේදී ජයග‍‍්‍රාහකයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත භාරදුන් බවත් ජයග‍‍්‍රාහයා වෙත මෙම සුපිරි ත්‍යාග මුදල, ඉදිරි දිනකදී උත්සවාකාරයෙන් ඔහු වෙත පිරිනැමීමට කටයුතු කරන බවත් එහි සාමාන්‍යාධිකාරි නාලක කළුවැව මහතා පැවැසී ය.

වසර 50 ඉක්මවූ ජාතික ලොතරැුයි මණ්ඩලයේ ලොතරැයි ඉතිහාසයේදී මෙම සුවිශේෂී සුපිරි ත්‍යාග මුදල හිමි ජයග‍‍්‍රාහකයා බිහිකර ඇත්තේ එහි දිස්ත‍‍්‍රික් අලෙවි නියෝජිත අයිරාංගනී පුෂ්පවර්ණගේ මගින් ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එච්.ජී. ප‍‍්‍රියන්ත මහතා විසිනි. එම ලොතරැුයිපත ජයග‍‍්‍රාහකයා වෙත අලෙවි කර ඇත්තේ පදලංගල ප‍‍්‍රදේශයේ ලොතරැයි අලෙවිකරු තිළිණ සම්පත් මහතා විසිනි.

රුපියල් 20කට මිලදී ගත හැකි ගොවිසෙත ලොතරැයියේ සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 4න් ඇරඹෙන අතර දිනුම් වාර ගණනාවක් සුපිරි ත්‍යාගයේ ජයග‍‍්‍රාහකයා බිහිනොකිරීම නිසා සෑම දිනුම් වාරයකදීම වැඩිවෙමින් ආ මුදල මෙවර රුපියල් කෝටි 13 ඉක්මවා තිබිණි.

පෙරේදා පැවැති 1230 වැනි දිනුම් වාරයේදී අයි (ෂ)අකුර සහ ජයග‍‍්‍රාහී අංක 9,22,39,64 ලෙසින් සඳහන් ජයග‍‍්‍රාහී ගොවිසෙත ලොතරැුයිපත ඇඹිලිපිටියේ, පදලංගල ප‍‍්‍රදේශයේදී අලෙවි වී තිබුණේ ද දිනුම් ඇදීම දින රාත‍‍්‍රී 7.45ට පමණ ලොතරැුයි අලෙවිකරු තිළිණ සම්පත් මහතා සතුව තිබූ අවසන් ටිකට්පත් අතරතුර ය.

ඇඹිලිපිටිය ලොතරැයි අලෙවි නියෝජිත එච්.ජී. ප‍‍්‍රියන්ත මහතා මෙම ජයග‍‍්‍රාහී ලොතරැයිපත අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වී ය.

”ඇත්තටම මට ගොඩක් සතුටුයි. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා විශාල ජයග‍‍්‍රහණයක් තිබෙන ටිකට්පතක් අලෙවි කරන්න. ඒ බලාපොරොත්තුව දැන් ඉටුවුණා. ගොවිසෙත ටිකට්පතෙහි කෝටි ගාණක සුපිරි ත්‍යාගය නිසා මේ දවස්වල ගොවිසෙත ටිකට්පත් වැඩි වැඩියෙන් අලෙවි වුණා. පසුගිය 19 වැනිදා ඇඹිලිපිටිය ප‍‍්‍රදේශයේ විකුණන්න ටිකට්පත් 8000ක් විතර ගෙනාවා. එදා ටිකක් වැස්ස නිසා ටිකට්පත් කිහිපයක් ඉතුරු වුණා. මම පුතාට කිව්වා වෑන් එකේ ගිහින් පදලංගල ප‍‍්‍රදේශයේ ටිකට් අලෙවි කරන්න කියලා. එහිදී තමයි ජයග‍‍්‍රාහී ටිකට්පත අලෙවි වෙලා තියෙන්නේ.

පුතා ගොවිසෙත ටිකට් 10ක් විතර අරගෙන ගියා. එයාලා ආපහු ඇඹිලිපිටිය නගරයට එද්දී ති‍‍්‍රරෝද රියකින් පැමිණි තිදෙනෙක් වෑන් එක නතර කරලා ටිකට් ඉල්ලලා. ඒ වෙලාවේ සියලූම ටිකට් අලෙවි වෙලයි තිබුණේ. ඒත් පුතා එයා ළඟ තිබුණු ටිකට් 10න් තුනක් ති‍‍්‍රරෝද රියෙන් පැමිණි අයට විකුණලා තිබුණා. අපිට පස්සේ ආරංචියක් ලැබුණා ඒ ටිකට් 10න් එකකට තමයි සුපිරි ත්‍යාගය තිබිලා තියෙන්නේ කියලා. සුපිරි තෑග්ග කාට හිමිවුණත් මට සතුටුයි. හිමිකම තිබෙන කෙනාටයි එය ලැබෙන්නේ.

මම ලොතරැුයිපත් අලෙවි කරන්නේ වයස අවුරුදු 15 ඉඳන්. අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරන්නේ 1998 වසරේ ඉඳන්. ලක්ෂ 20 තෑගි 6ක් දස ලක්ෂයේ තෑගි 12ක් ලක්ෂ 15, ලක්ෂ 05 ආදී ලොතරැුයිපත් මේ කාලය තුළදී මගේ ඇඹිලිපිටිය ලොතරැුයි කූඩුවෙන් අලෙවි කරලා තිබෙනවා.” යැයි එච්.ජී. පි‍‍්‍රයන්ත මහතා පැවැසී ය.

ජයග‍‍්‍රාහී ලොතරැුයිපත අලෙවි කළ එච්.ජී. ප‍‍්‍රියන්ත මහතාගේ පුතු වන 20 හැවිරිදි තිළිණ සම්පත් මහතා මෙසේ කියා සිටියේ ය.

”ලොතරැුයිපත් අලෙවි කටයුතුවලදී මම තාත්තාට උදව් කරනවා. 19 වැනිදා හැන්දෑවේ තාත්තාට ටිකක් අසනීපයි කිව්ව නිසා මම ඉතුරු ටිකට්පත් අරගෙන වෑන් රථයෙන් පදලංගල පැත්තට ගියා. එදින රාත‍‍්‍රී 7.30 විතර වෙද්දී ටිකට්පත් සියල්ල අලෙවි වුණා. පදලංගල ප‍‍්‍රදේශයේ දී රතුපාට ත්‍රීරෝද රියකින් පැමිණි තුන්දෙනෙක් වෑන් එක නතර කරලා ගොවිසෙත ටිකට් තියෙනවාද ඇහුවා. මම කිව්වා ඉවරයි කියලා. ඔයා ළඟ තියෙන ටිකට් එකක් හරි අපිට දෙන්න කියලා ඔවුන් කිව්වා. මම සාමාන්‍යයෙන් දවසකට ටිකට් 15ක් 20ක් විතර ගන්නවා. මේ දවස්වල වැඩිපුරම ගන්නේ ගොවිසෙත. ති‍‍්‍රරෝද රථයෙන් ආපු තිදෙනාට මම මගේ ළඟ තිබුණු ටිකට් 10න් 3ක් දුන්නා. වේලාව? 7.45ට විතර ඇති. පස්සේ ගමෙන් ආරංචි වුණා ඒ ටිකට් තුනෙන් එකක තමා දිනුම තිබිලා තියෙන්නේ කියලා. ජයග‍‍්‍රාහී ටිකට්පත අලෙවි කිරීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි.

ගොවීන්ට සහන අරමුදලක් පිහිටුවීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒකාබද්ධව බිහිවූ ගොවිසෙත ලොතරැුයිපත ආරම්භ කළේ එක්දහස් නවසිය අනූව දශකයේදීයි. එකල රුපියල් කෝටියකින් ආරම්භ කළ සුපිරි ත්‍යාගය අද වනවිට රුපියල් කෝටි 4කින් ඇරඹෙන ත්‍යාග මුදලක් ලෙස වර්ධනය වී ඇත.

ගොවිසෙත ලොතරැුයිපත මගින් ලබාදෙන සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 4කින් ආරම්භ කිරීම නිසා ලොතරැුුයිපත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලූම හේතුවෙන් සතියකට එක් වාරයක් ලෙස සිදුකරන ලද දිනුම් ඇදීම පසුකාලීනව සතියක් තුළ සඳුදා, බ‍‍්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ලෙසින් දිනුම් ඇදීමේ වාර 3ක් දක්වා ඉහළ නැංවීමට ජාතික ලොතරැුයි මණ්ඩලය කටයුතු කර තිබිණි.

මෙම සුවිශේෂී සුපිරි ත්‍යාගය මේ තරම් සුවිශාල මුදලක් වීම නිසා පසුගිය දිනවලදී එක් දිනුම් වාරයකට අලෙවි වන ලොතරැයිපත් ප‍‍්‍රමාණය ශීඝ‍‍්‍රයෙන් ඉහළ ගිය බව ජාතික ලොතරැුයි මණ්ඩලයේ ප‍‍්‍රකාශකයෙක් අප වෙත පැවැසී ය. කෙසේ නමුත් මෙම ජයග‍‍්‍රාහී ලොතරැුුයිපත රස පරීක්ෂක වෙත යොමුකොට එහි නිරවද්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව ජයග‍‍්‍රහණය හිමි පුද්ගලයා වෙත සුපිරි ත්‍යාග මුදල පිරිනමනු ඇති බව ද එම ප‍‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ ය.

ඒ අනුව එක් දිනුම් වාරයකදී ලක්ෂ 15ක් පමණ අලෙවිවෙමින් තිබූ ලොතරැුුයිපත් සංඛ්‍යාව මෙම සුපිරි ත්‍යාගය හේතුවෙන් ලක්ෂ 50ක් දක්වා ඉහළ ගිය අතර, සතියකට ලොතරැුුයිපත් ලක්ෂ 150කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වූ බව හෙතෙම පෙන්වා දුන්නේ ය. එමෙන්ම එක් දිනුම් වාරයකදී මෙතෙක් බිහිකළ දසලක්ෂයේ ත්‍යාගලාභීන්ගේ උපරිමය වූ තිදෙනකුගේ සංඛ්‍යාවද අබිබවා ගිය අවස්ථා ගණනාවක් වූ බව ද එම ප‍‍්‍රකාශකයා අප වෙත කියා සිටියේ ය.

ගොවිසෙත ලොතරැුයියේ සුපිරි ත්‍යාගය හිමිකරගැනීමේ අරමුණින් එය මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ වැඩිවීම හේතුවෙන් රුපියල් 20 සිට රුපියල් දසලක්ෂයක් දක්වා වන සෙසු ත්‍යාගලාභීන් ද ශීඝ‍‍්‍රයෙන් වැඩිවී තිබිණ. මේ හේතුවෙන් පසුගිය කාලයේදී එක් දිනුම් වාරයකදී ත්‍යාගලාභීන් ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් බිහි කළ බව එම ප‍‍්‍රකාශකයා අනාවරණය කළේ ය. සෑම ලොතරැයිපතකින්ම 47%ක් ත්‍යාග සඳහා වෙන්කෙරෙන අතර, සෙසු මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිසහන අරමුදල, ජනාධිපති අරමුදල, අලෙවි නියෝජිත කොමිස් මුදල් ආදී කොටස් ගණනාවක් සඳහා වෙන්කරනු ලබයි.

ගොවිසෙත ලොතරැුයියේ මෙම සුපිරි ත්‍යාගය හේතුවෙන් මෙතෙක් කලක් ලොතරැුයිපත් මිලදී ගැනීමට හුරුවී සිටි සාමාන්‍ය ජනතාව පමණක් නොව, ඉහළ පාන්තික ධනවතුන් පවා ලොතරැුයිපත් විශාල සංඛාවක් එකවර මිලදී ගැනීමට පුරුදු වූ බව ලොතරැුයිපත් අලෙවි කරන්නෝ අප වෙත පැවැසූහ. එමෙන්ම මේ හේතුවෙන් වෙනත් ලොතරැුයිපත් අලෙවිය අඩුවීමට පටන්ගත් බැවින් ඇතැම් අවස්ථාවලදී ලොතරැුයි අලෙවිකරුවන් ගොවිසෙත ලොතරැුයිපත් වරින් වර සඟවා තබමින් අලෙවි කිරීමට කටයුතු කළ අවස්ථා ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

මේ පිළිබඳ ජාතික ලොතරැුයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නාලක කළුවැව මහතා මෙලෙස අදහස් දැක්වී ය. ”මිනිසුන් අතර දුර්මතයක් තිබුණා මෙම මුදල හිමි ජයග‍‍්‍රාහකයෙක් අපි බිහිකරන්නේ නැහැ කියලා. ඒ වගේම චෝදනා තිබුණා මෙම මුදල ජනතාවට නොදී වංචාසහගත ලෙස අපගේ මණ්ඩලය මෙම මුදල රඳවා ගන්නා බවට. මේ මුදල හිමි ජයග‍‍්‍රාහකයකු බිහිකරනතුරු නොදිනූ සෑම දිනුම් වාරයකදීම ත්‍යාගය මීළඟ ත්‍යාගයට එකතු වෙනවා. එලෙස තමයි ලොතරැයිපත් ජයග‍‍්‍රහණ හිමිවන්නේ. එම ක්‍‍්‍රමවේදය කිසිදු ලෙසකින් වෙනස් කිරීමට හැකියාවක් නැහැ. ඉතිහාසයේ මෙතෙක් කිසිවකු නොලද මේ සුපිරි ත්‍යාගයේ ජයග‍‍්‍රාහකයා බිහිවීම නිසා ජනතාව අප වෙත කළ චෝදනා සියල්ල ප‍‍්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම ජනතාව මෙතෙක් ජාතික ලොතරැුයි මණ්ඩලය වෙත තැබූ විශ්වාසය වඩාත් තහවුරු වන බව කිව යුතුයි.”

ප‍‍්‍රබෝධා හෙට්ටිආරච්චි/ සේන වී. ගමගේ-ඇඹිලිපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *