ඉදිරියේදී ලංකාවේ අසංවර සංදර්ශන පැවැත්වීමට කිසිදු ඉඩක් නොතබන බවත් එවැනි සංවිධායකයන්ට මඩු වලිගෙන් තැලීමට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට කටේ මසුරං දැමීමට වටිනවා යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් කියා සිටි.
එම ලිපිය මෙසේය අසංවර සංගීත ප්‍රසංග පවත්වන අයට මඩු වලිගයෙන් තලන්න ඕනෑ යැයි ඔබතුමාගේ කතාවට කටේ මසුරං දමන්නට වටින බව කියමි. අද පියා දුව දූෂණය කරයි. සහෝදරයා සහෝදරිය දූෂණය කරයි. තරුණයෙක් 80 වියැති මැහැල්ල දූෂණය කරයි. චීවර ධාරියෙක් වඳින්නට ආ දැරිය බදාගනී.
තවකෙක් බිලිඳියක් දූෂණය කරයි. මේ ආකාරයේ අන්ත දූෂණ, වනචරකම් තදින් පැතිර යාමට පටන් ගෙන ඇත. මෙබදු කාම පිස්සන් බිහිවීමට හේතුවන කරුණු අතර අසංවර සංගීත සාජ්ජද ප්රධානවේ. සමහර විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවලද නිරුවත් දර්ශන නිතර දක්නට ලැබේ.
ජංගම දුරකතනය, ෆේස්බුක්, අන්තර්ජාලය, ඔස්සේ දරුවන් නොමඟයාම වැඩිවී ඇත. ලංකාවේ ඉතා පිටිසර ගම්මවල පවා කාමර පහසුකම් සපයන බෝඞ් එල්ලා ඇත. නිවාඩු දිනවල පාසල් වේලාවෙන් පසු මේවාට යන්නේ ඉහත අසභ්‍ය දර්ශනවලින් උමතු වී සිටින ජීවිතයේ කිසිදු හරයක් ගැන අවබෝධයක් නැති මේ රටේ අහිංසක දුවා දරුවන් බව කිවයුතු නැත.
මේ තරමට සිත්හි රාගය අවුස්සා මුදල් ගරන දුෂ්ට ව්‍යාපාර රටපුරාම ඇත. සංගීතය මනස සනසන උතුම් කලාවකි. එහෙත් අද සමහර අය එය උපයෝගි කරගෙන ඇත්තේ මුදල් ගරා ගැනීම සඳහාය. පහත් දෙයට ඉක්මනින් මිනිසාගේ සිත නැමේ. එබැවින් පහත් දර්ශනවලින් මිනිසුන් උමතු කර මුදල් ගැරීම ඔවුන්ගේ ක්‍රමයයි. මේ නිසා මේ අසභ්‍ය ජඩ ක්‍රියා ගැන ඔබ තුමා දැඩි පියවර ගැනීම ගැන අපගේ ස්තූතිය හා ආශීර්වාදය මෙයින් පිරිනමමු.