වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකළ සහ විවිධ දූෂණ වංචා සම්බන්ධව චෝදනාවලට ලක්ව සිටින පුද්ගලයන් සියයකට වැඩි පිරිසකට ඉදිරි සති කීපය තුළ අධිකරණය හමුවේ නඩු පැවරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.
පසුගිය කාලය තුළ ලැබී තිබූ පැමිණිලි දහස් ගණනක් අතරින්, විමර්ශන අවසන් වූ චෝදනා ලැබූ පුද්ගලයන්ට එසේ නඩු පැවරීම සිදුවෙයි.
දේශපාලනඥයන්, රාජ්ය සහ රාජ්ය නොවන අංශවල ප්රධානීන්, නිලධාරින් ඇතුළු පිරිසක් ඒ පිරිස අතර වෙයි.
රුපියල් කෝටි ගණනින් මුදල් රාජ්ය දේපොළ වංචා කළ පුද්ගලයන් සහ හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වී එම වත්කම් ලැබූ ආකාරය හෙළිකිරීමට අපොහොසත්වූ පිරිසක් ද මේ අතර වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ පිරිස අතරින් වැඩිදෙනෙක් අල්ලස් කොමිසම වෙත කැඳවා ඔවුන්ට ඉදිරිපත්වී ඇති පැමිණිලි හා අල්ලස් කොමිසම මගින් ඒවා සම්බන්ධව හෙළිකරගත් තොරතුරු ඉදිරිපත් කර ඒවා සම්බන්ධව ප්රකාශ ද ලබාගෙන තිබේ.
මේ පිරිසට අමතරව තවත් පැමිණිලි දහසකට වැඩි ප්රමාණයක් විමර්ශනයට භාජනය වෙමින් පවතී.