ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුරයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනවාරි 8දා නව රජයේ විශේෂ සංවර්ධන ව්‍යාපෘතිය සහ ජනතා ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
ජනපති හදබිම ලෙස මෙම ජනතා ගැටලු ඉදිරිපත් කිරීමේ වැඩසටහන නම්කර ඇති අතර එම වැඩසටහන දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තමන් ජනාධිපතිවරයා ලෙස රටේ ජනතාව පත්කර එළඹෙන 8දාට යෙදෙන්නේ පදවි ප්‍රාප්තියක් නොව ජනාධිපති ධුරයේ වර්ෂ පූර්ණයක් බවත් එය ඉතා චාම් අන්දමින් පවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (3) පැවැසීය.
කොළඹ ජනාධිපති නිවසේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක් වසරක් සපුරයි යනුවෙන් මෙම වර්ෂ පූර්ණ උත්සවය නම්කර ඇත.
මෙයට සමගාමීව මෙදින සංවර්ධන ඇගයීම් කාර්යාලයක් පිහිටුවීමටද නියමිත බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා පැවැසීය.
ජනවාරි 8දා උදෑසන කළුතර බෝ සමිඳුන් අබියස ආගමික වතාවත් සඳහා සහභාගි වන ජනාධිපතිවරයා එදින පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේ සිට ඉදිරි සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව රට දැනුවත් කිරීමට නියමිතය.
අනතුරුව ජනපති ධුරයේ වර්ෂ පූර්ණයේ ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
එහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කිරීමටද නියමිත අතර ඉන්දීය ප්‍රකට විද්වතකු විසින් විශේෂ දේශනයක්ද මෙහිදී පැවැත්වීමට නියමිතය.
