ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම නිල් මැණික ශ්රී ලංකාවේ මැණික් පුරය ලෙස සැලකෙන රත්නපුරයෙන් හමුවී ඇත.
කැරට් 1404.49ක් බර මෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන සීයද ඉක්මවන බව එය පරීක්ෂා කළ විදේශීය මැණික් විශේෂඥයෝ පවසති.
මේ විශාල නිල් මැණික ආදම් ගේ තාරකාව යනුවෙන් නම් තබා ඇත. පසුගිය වසර අගදී රත්නපුර හා හැටන් අතර ප්රදේශයකදී හමු වූ මේ නිල් මැණිකේ වර්තමාන අයිතිකරු එය මිලදී ගෙන ඇත්තේද ඉතා විශාල මිලකටයි.
මා මේ මැණික මිලදී ගත්තේ නොවටිනා විශාල මිලකට බව සමහරු කිව්වා.
මා මෙය ගත්තාට වඩා අඩු මිලකට මට ගන්නට තිබුණා. එහෙත් මෙය මෙතරම් වටිනා එකක් කියා මා හිතුවේ නැහැ යි ආදම්ගේ තාරකාව නව අයිතිකරු පවසයි.
මැණික විකුණූ පුද්ගලයාවත් තමාවත් මෙය ලෝකයේ විශාලම නිල් මැණික බව නොසිතූ බව වර්තමාන අයිතිකරු තවදුරටත් කීවේය. කිසිවකුටත් මේ මැණික විකුණන්නට මේ මොහොතේ තමන් අදහස් නොකරන බව පැවැසූ මැණිකේ අයිතිකරු මුලින්ම එය ලොව මැණික්කරුවන්ට ප්රදර්ශනය කළ යුතු බවද කියයි.
මේ නිල් මැණික ආදම්ගේ තාරකාව යනුවෙන් හඳුන්වන්නට හේතුව පිළිබඳව විමසූ විට ඔහු පැවැසුවේ මුස්ලිම් විශ්වාසය අනුව ශුද්ධ වූ ආදම්තුමා තහනම් ගහේ ගෙඩි කෑ පසුව දෙවියන් විසින් ඔහු පිටත් කළේ ශ්රී ලංකාවට බවත් එතුමා ශ්රී පාදය අසල ජීවත් වූ බවත් ශ්රී පාදයට ආදම්ගේ පාදය යනුවෙන් මුස්ලිම්වරුන් හඳුන්වන්නේ ඒ නිසා බවත් ආදම්තුමාට ගරු කිරීම සඳහා තමා මෙයට ඒ නම තැබූ බවත්ය.
ඊළඟට විශාලතම නිල් මැණික ඇත්තේද ශ්රී ලංකාවේය. ඒ ගුරුගේ සහෝදරයන් සතුවය.
එහි බර කැරට් 1395කි.