පසුගිය වසරේ ජනවාරි 8 වනදා මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් ප්රජාත්රන්තවාදීව සියලුම අභියෝග හමුවේ ජනතා මනාපයෙන් මෛත්රිපාල සිරිසේන මහතා ජයගනු ලැබීය. එහි පළමු වසර පදවි ප්රාප්තිය නුදුරේදීම ඉතා චාම්ව සැමරීමට කටයුතු යොදා තිබේ. මේ ඒ පිලිබඳ නොවේ.
මෛත්රී ජනපති ධුරයට පත්වී වසරක් ගත වන මේ මොහොතේ ඔහුගේ විරුද්ධවාදීන් පිරිස නොයෙකුත් කතා කියමින් නොයෙකුත් නම්වලින් එම වසර සහ සැමරුම් හදුන්වා දී තිබේ. එහි වඩාත්ම ආසන්නතම සිදුවීම වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ජනවාරි 2 සිට 8 දක්වා සතියක කාලය කලු කොඩි සතියක් ලෙස නම්කර එම කාලය තුල සිය නිවස්වල, මූණු පොතේ කලු කොඩි ප්රදර්ශනය කරමින් මෙම සැමරුමට ජනතා චන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට විරුද්ධ වන ලෙසයි.
ගම්මන්පිල මන්ත්රීවරයා ප්රවෘත්ති සකච්ඡා තබමින් කලු වර්ණය පැළඳ ගනිමින් ජනතාවගෙන් මෙන්ම තම පාර්ලිමේන්තු අනෙක් සගයන්ගෙන්ද ඔහු මෙන් කලු කොඩි පැළඳ ගන්න ලෙස ඉල්ලීය. එම ඉල්ලීමට ප්රතිචාර කෙලෙසදැයි බැලීමට අපි මූණු පොතේ වටයක් ගැසුවෙමු. ගම්මන්පිල මන්ත්රීවරයාගේ එම ඉල්ල්ලීම ඔහුගේ පාර්ලිමේන්තු සගයන්වත් ඉටු කර නොමැති බවක් අපට දක්නට ලැබිණි. උදය ගම්මන්පිල මෙම ක්රියාවලියේදී තනිවමදැයි අපිට අසන්න වන්නේ එම නිසාය. ගම්මන්පිල මහතා පෙර පැවසුවේ නිවසේ වාහනයේ කළු කොඩි පැළඳීමට බියනම් සිය මූණු පොත් ගිණුමේ හෝ පළ කරගෙන සිය විරෝධය පාන ලෙසයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් මන්ත්රීවරුන් ගම්මන්පිල මහතාගේ මෙම ඉල්ලීමට සවන් යොම නැති බව පෙනේ.