• Fri. Feb 3rd, 2023

තාජූඩීන්ගේ අපරාධකරුවන් CCTV යෙන් ගැලවේ..!

thajudin

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණයට අදාලව සිදු කරන පරීක්ෂණවලදී සොයා ගෙන ඇති සීසීටීවී දර්ශන අඩංගු වීඩියෝ පට අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලය පවසයි.

එබැවින් ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශීය පරීක්ෂණාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්ණේය.

තාජුදින්ගේ මරණය සිදු වූ අවස්ථාවේ නාරාහේන්පිට සහ කිරුලපන මංසන්ධිවල සවි කර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශන කිහිපයක් රහස් පොලිසිය සොයා ගෙන තිබුණි.

එම දර්ශන පරික්ෂා කල කොළඹ විශ්ව විද්‍යාලය අධිකරණයට දැනුම් දී ඇත්තේ එම දර්ශන අපැහැදිලි තත්වයකින් පවතින බැවින් සිය තාක්ෂණික සීමාව තුල ඒවාහඳුනා ගැනීම අපහසු බවයි.

අදාළ දර්ශනවල වාහනයක් දක්නට ලැබුන ද එහි අංක තහඩුව හෝ එහි ගමන් ගන්නා පුද්ගලයන් හඳුනා ගැනීමට අපහසු බව කොළඹ විශ්ව විද්‍යාලය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

එම නිසා අදාළ වීඩියෝ දර්ශන ඇමරිකාවේ එෆ් බී අයි හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පරීක්ෂණාගාර වෙත යොමු කර පරික්ෂා කිරීම සුදුසු බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි 17 වැනි දා වසීම් තාජුදීන් මිය ගොස් සිටියේය.

රාජිතගේ ප්‍රකාශය.

කෙසේවුවද, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් ඉකුත් දිනවල කියා සිටියේ තාජුදීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් ‘දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන’ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ සිදුවීමට හවුල් ප්‍රභූ පවුලක සාමාජිකයන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.

එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැතැයි එම දෙපාර්තමේන්තුව එම ප්‍රකාශයට පිළිතුරු ලෙස සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පවසා තිබුණේ එවැනි ආකාරයේ කැමරා දර්ශන තිබුණේ නම් තාජුදීන්ගේ මරණය ඝාතනයක් බවට පහසුවෙන් ඔප්පු කරන්නට හැකියාව ලැබෙන බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන තිබේ නම් ඒවා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබිණි.

පසුව අමාත්‍යවරයා පවසා තිබුනේ, තමන්ගේ හිතවතකු එබව දැනුම්දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *