• Sat. Jan 28th, 2023

සෞභාග්‍යයේ මංගල්‍යය – තෛපොංගල් උත්සවය.

BySandun

Jan 11, 2016

thaipongale

“තෛ” මාසය නමින් හඳුන්වන සිංහල ක්‍රමයට දුරුතු මස පළමුවැනි දිනයේදී දෙමළ ජනතාවට අවුරුද්ද උදා වෙනවා.
ජීවත් වීමට වැස්ස අත්‍යවශ්‍ය සාධකයකි. ජලය නොමැතිව ලෝකය පවතින්නේ නැත. එමනිසා වැස්ස ලබා දෙනු ලබන්නේ සූර්යා බව හින්දූන් ගේ විශ්වාසයයි.
උෂ්ණය, ආලෝකය, ජීව ශක්තියත්, සියලුම ජීව වස්තු ජීවත් කරවන්නේ ය. සෑම කෙනෙකුට ම එක සේ හිරු පායයි.

ඈත අතීතයේ සිට ම හින්දූන් සූර්යය වන්දනය සිදු කරනු ලබති. මෙයට හේතුව වශයෙන් දෙමළ ජනවහරේ “උන්ජි කොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝර්” යනුවෙන් ප‍්‍රස්ථාව පිරුලක් වෙයි.

මෙයින් අදහස් වන්නේ “යමක් දෙනු ලබන්නා ජීවිකාව (පණ) දෙන බවයි” සූර්යයා මිනිසාට සූර්ය ශක්තියෙන් ජීව ශක්තිය ලබා දෙන බව මෙයින් අර්ථවත් වෙයි.

101242_ (7)‘තෛ’ මාසය නොහොත් දුරුතු මාසයේ පළමු දිනය උදා වීම “මකර සගං කරන්ති” යනුවෙන් හඳුන්වති. එමෙන් ම “උත්තරායනම්” ආරම්භ කරන දිනය ද එය ම වේ.තෛ මාසයේ සිට දුරුතු මාසය පොසොන් මාසය තෙක් පවතී. මේ කාලය පුණ්‍ය කාලය යනුවෙන් ද හඳුන්වනු ලබති. මේ කාලයේ සුබ නැකත්, සියලු ම යහපත් දෑ සිදුවන කාලය ලෙස සැලකේ.
ගොවියන් ගේ ශ‍්‍රම ශක්තිය උසස් ලෙස සලකන දිනය තෛපොංගල් දිනය ලෙස සැලකේ. මිනිස් ශ‍්‍රමිකයන්ටත් එම ශ‍්‍රමයට උදවු උපකාරී වන සත්ත්ව ශ‍්‍රමිකයන්ටත් කෘතවේදී වීමට ද මෙම දිනය හින්දූන් යොදා ගනිති.
තෛපොංගල් දිනයේ දී සූර්ය දිව්‍ය රාජයා උදාවන්නට පැය පහකට ප‍්‍රථම අලුයම හින්දු දෙමළ ජනතාව අවදි වෙති. ජල ස්නානය කර තමන්ව පිරිසුදු කර ගනිති.

ගෙමිදුලේ ගොම පිරියම් කරන ලද පිරිසුදු බිම් කඩක සුදු, රත් පැහැ පිටි වර්ගවලින් අලංකාර මල් රටා දමා ගනිති. මේ බිම් තීරය බොහෝ විට සකස් කර ගනු ලබන්නේ සූර්යා ගේ කිරණ වැටෙන නැඟෙනහිර පැත්තට වන්නට ය.තව ද මෙසේ මල් රටා යොදා ගන්නවා පමණක් නොව කෙසෙල් ගස්, උක් ගස්, මෙන් ම මකර තොරණ් ද ශාක වර්ගවලින් සාදා එම භූමිය අලංකාර කර ගනිති. තව ද මෙම භූමියේ සුදුසු ස්ථානයක පුල්යර් දෙවියන් ගේ රූපයක්, (ගන දෙවියන්ගේ) තබා ගනිති.එම ස්ථානයේ පහනක් පත්තු කරති. තව ද හාල් හෝ වී අතුරා ඒ මත පොල් ගෙඩියක් ද තබා කෙසෙල් ද, බුලත් ද, පුවක් ද යන මංගල ද්‍රව්‍ය තබනු ලබති.ප‍්‍රථමයෙන් ම පුල්ලයාර් දෙවියන්ට වන්දනා මාන කර ඉන් අනතුරුව අනෙක් සියලු ම රූප දේවතාවුන්ට පූජෝපහාර දක්වනු ලබති.

මේ අවුරුදු දිනය දෙමළ ජනතාවගේ කුඩා ළමයා ගේ සිට බලාපොරොත්තු වන්නකි.මන්දයත් තම ජීවිතවලට යහපතක් ලැබෙන්නේ මේ දිනයේ දී සූර්ය උදාවත් සමඟ බවටයි ඔවුහු විශ්වාස කරන්නේ.එමෙන්ම තෛපොංගල් උදාවත් සමඟ ජීවිතයේ අලුත් පිටුවක් පෙරැළෙන බව ඔවුහු දැඩි සේ විශ්වාස කරනු ලබති.
විශේෂයෙන්ම මේ දිනයේ දී ඔවුන් සියලුම දෙනාටම සූර්ය දිව්‍ය රාජයා ජීවිතය ලබා දෙන බව ඔවුහු විශ්වාස කරති.

ජලයෙන් ශුද්ධ පවිත‍්‍ර කරනු ලැබූ අලුත් මුට්ටියක් ගෙන එහි කට පෙදෙසෙහි කහ කොළ, ඉඟුරු කොළ, අඹ කොළ එකට එක්කොට බැඳ මුට්ටියේ පිට පැත්තේ “පරහද” (තිරුනූර්) තවරා ති‍්‍රශූලයක් සේ තුන් පැත්තක ඇඳ කට්ටුකුමංජල්, සුවඳ වර්ග තවරා, පොට්ටුවක් සේ තබා, එම හැලියට එළකිරි, ජලයත් වත්කර, ධූප එළියකින් එය වට කරකවා, කපුරුවලින් ලිප මොලවා, සැමියා සහ බිරිය එක් වී එක්සිත්ව සූර්ය දෙවියන්ට නමස්කාර කර ඉෂ්ට දෙවියන්ට වන්දනා කර, එම හැලිය ඉතා පරිස්සමෙන් තමන්ගේ දෑත්වලින් ම ළිප උඩ තබති. මෙම අවස්ථාවේ දී පවුලේ සියලු ම දෙනා එම අවස්ථාවට සහභාගි වෙති.

pongalමේ හැලියේ කිරි ඉතිරි වී පිටට ගලන විට සියලු දෙනා ම පොංගල් පොංගල් යනුවෙන් ශබ්ද නඟා කියා සතුටු වෙති. තම ජීවිතයේ සතුට ඉතිරී යන්නා සේ කිරි ද ඉතිරි වී පිටාර ගලනු දැකීම මේ අය ගේ අභිලාසය. මේ ආකාරයෙන් තමන් ගේ මනස ද සතුට ඉතිරි යන සෙයක් සේ හැඟීම් කර ඇති වෙන බව බොහෝ හින්දූන් කියති.මෙහි මනෝ විද්‍යාත්මක සත්‍යතාවක් ද වෙයි. මෙහි දී කිරි ඉතිරි වී උතුරු දිසාවට ද නැඟෙනහිර දිසාවට ද පිටාර ගැලිය යුතුයි. එහෙත්, ඊශාන දිසාවට හැරී පිටාර ගැලුවහොත් එය ඉතා යහපත් යැයි සලකා සිත් සැහැල්ලු කර ගනිති.

ඊට පසු ගෘහ මූලිකයා අලුත් සහල් දෑතින් ම ගෙන සූර්ය දෙවියන්ට නමස්කාර කර හැලිය තෙවරක් පැදකුණු කොට සහල් හැලියට දමති. ඊට පසු ගෘහමූලිකයා වැඩිමහල් ආකාරයෙන් සියලු දෙනාම සහල් මෙම හැලියට දමති.

ඊට පසු සූකිරි, ගිතෙල්, පැණි, උක් පැණි, රටඉඳි, මිදි, මුං යන දෑ මෙම හැලියට දමා හොඳින් හැඳි ගා ගනිති.මෙසේ පිස ගත් කිරි බත කෙසෙල් කොළ තුනකට බෙදා දෙවියන්ට පිදීමට සකස්කර ගනිති. එසේ එම කෙසෙල් කොළ තුනම සහ දෙවි රූපය ඉදිරිපිට තබා, එම කිරි බතට අමතරව කෙසෙල් ගෙඩි, උක් දඬු, තැඹිලි, මල් ද පූජාවන් සේ තබා ගනිති.ඊට පසු පොල් ගෙඩියක් බිඳ එය ද තබා එය දෙවියන්ට පුදා අනතුරුව සුවඳ දුම් අල්ලා පහනක් පත්තු කොට බැති සිතින් යුතුව ස්තෝත‍්‍ර ගායනා කොට සූර්ය දෙවියන්ට වන්දනා මාන කරති.මේ දිනයේ දී දේවස්ථානවලට ගොස් දෙවියන් වැඳ ඊට පසු මවුපියන්ට ද, වැඩිහිටියන්ට ද, ගුරු දෙවියන්ට වැඳ ආශීර්වාද ලබා ගනිති. ඊට පසු දුප්පතුන්ට, අනාදරයට පත්වූවන්ට, කාත් කවුරුත් නැති අයට කෑම කෑමට දෙති.

දාන හා ධර්ම යන කරුණුවලට හින්දූහු නියැලෙති. ඊට පසු සමාජීය වශයෙන් සියලු නෑ හිතමිතුරන් සමඟ එක් වී නොයෙක් කී‍්‍රඩාවල යෙදීම ද මෙහි දී සිදු කරනු ලබති.මෙසේ තෛ පොංගල් දිනයේ එසේ කාර්යයන් සිදු කෙරුණත් දින හතරක් තිස්සේ තෛ පොංගල් දිනය සැමරීමට හින්දුහු අමතක නොකරති.

හින්දුහු තෛ පොංගල් දිනයේම සිදුකරනු ලබන කෙම් ක‍්‍රමයක් ඇත. මෙය ද තෛ පොංගල් උත්සවයේ එක් අංශයකි. ඵල හට නොගන්නා ගස්වලට හෝ මල් හට නොගන්නා ගස්වලට පහරදීම මෙම කි‍්‍රයාවලියයි.මේ කි‍්‍රයාව ද පොංගල් දිනයේ දී ම සිදු කරනු ලබන්නේ කිරි බත පිසීමට ගන්නා පොල් කටු හැන්දෙනි. මෙසේ පහර දුන් පසු ඉක්මනින් ම මල් හටගෙන ඵල හට ගනිවී යන විශ්වාසයක් දෙමළ ජනතාවට ඇත.

පොල්, අඹ, කොස්, තල් වැනි ඉතා ප‍්‍රයෝජනවත් ගස්වලටත් අනෙක් ඵල හට ගන්නා ගස්වලටත් මෙම කෙම් ක‍්‍රම සිදුකිරීමට දමිළ ජනතාව පුරුදු වී සිටිති. මෙසේ ගස්වලට පහර දෙන විට, මල් හැදෙන්නේ නැද්ද? ගෙඩි හැදෙන්නේ නැද්ද? යනුවෙන් කිය කියා එක් අයෙකු ගසන විට තවත් අයෙක් මල් හදමි, ගෙඩි හදමි යනුවෙන් පිළිතුරු දෙති.

දෙමළ හින්දු ජනතාව මෙම තෛපොංගල් හතර වැනි දිනයේ ගැමි ගෙවල්වල කරන කි‍්‍රයාවක් ඇත. එනම් හතරවැනි දිනයේ මස් මාංශ රහිතව එළවුළු ව්‍යංජන සහිතව බත් පිස ගනිති. මේ බත් ව්‍යංජන එකට අනා ගත් බත් පිඩවල්වලට “කානුම් පොඩි” වශයෙන් නම් කරති.

මේ කානුම් පොඩි කපුටන්ට ගෙන ගොස් දමනු ලබති. එසේ කපුටන්ට දමනු ලබන්නේ නිවසෙහි ගෘහනිය විසිනි. ඇය එසේ දමන විට මෙසේ ගීතයක් ද කියයි.

“කාක්කා පොඩි වෛත්තේන්
කානුම් පොඩි වෛත්තේන්
උන්කූඩම් කෙලෙන්දාලුම්
එන් කූඩම් කලයාදු

මෙයින් අර්ථවත් වන්නේ එකමුතු බවේ සංකේතයයි.

කපුටන් හට බත් පිඩක්
හොඳට අනපු බත් පිඩක්
නුඹේ කැදැල්ල විසිර ගියත්
මගේ කැදැල්ල කැඩෙන්නේ නෑ

කපුටන් සෑම විට ම එකමුතු වී සිටින පක්ෂීන් වර්ගයකි. එම නිසා නුඹේ කැදැල්ල කැඩී ගියත් යනුවෙන් අර්ථවත් වන්නේ උන්ගේ කැදැල්ල කවරදාකවත් කැඩෙන්නේ නැහැ යන අර්ථයයි.

thaipongalඒ ආකාරයෙන් තම ගෘහයේ එකමුතු බව, සමඟිය ප‍්‍රාර්ථනා කරති. මේ ආකාරයෙන් ගමේ නගරයේ රටේ විවිධ ජාතීන් අතර සාමය සමඟිය ප‍්‍රාර්ථනා කරති. එම නිසා මෙවර තෛ පොංගල් දිනයේ දී හෝ අප රටට සාමය සමඟිය උදාවේවා යැයි ප‍්‍රාර්ථනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *