• Thu. Feb 2nd, 2023

අන්තවාදීන් විෂබීජ වැපිරුවත් භික්‌ෂු කෙටුම්පත පිළිබඳව හුඹස්‌ බියක්‌ ඇතිකරගත යුතු නැහැ – බෙල්ලන්විල විමලරතන නාහිමි

bellanwila wimalarathna himi

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්‍ෂු කෙටුම්පත ගැන කිසිවකු හුඹස්‌ බියක්‌ ඇති කරගත යුතු නැහැ. අන්තවාදී, ජාතිවාදී අදහස්‌ ඇති ඇතැමුන් මේ පිළිබඳ විෂබීජ දැමුවත් මින් සිදු කෙරෙන්නේ භික්‍ෂු සමාජයට අනන්‍ය වූ නිදහස්‌, ස්‌වාධීන පාලන ක්‍රමයක්‌, පද්ධතියක්‌, නෛතික ක්‍රමවේදයක්‌ සකස්‌ කර ගැනීම පමණයි.

සංඝ සභාවලට වෙන් වෙන් වූ අධිකරණමය ක්‍රියා පද්ධතියක්‌ සහිත සාධනීය ලක්‍ෂණ ඇති සංඝ කතිකාවතක්‌ ඇරඹීම මෙහි අරමුණයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පෙරේදා (16 දා) ආණමඩුවේ පැවැති උත්සවයකදී එසේ පැවසූහ.

කෝට්‌ටේ පාර්ශ්වයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක රාජකීය පණ්‌ඩිත තම්මැන්නාවැටියේ රතනජෝති හිමියන් වෙනුවෙන් ආණමඩුව සුදම්පාය ප්‍රජා ශාලාවේදී පැවැති “ශ්‍රී රතනජෝති යතිවර වන්දනා” උපහාර උළෙලේදී මුලසුන දෙසුම පවත්වමින් බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් මෙසේ කීහ.

පසුගිය කාලයේ රටේ ඇති සියලු නිකායවල මහනාහිමිවරුන් ඒකරාශි වී අප සංඝ සමාජයට බලවත් අඩුපාඩුවක්‌ව පැවැති මෙම භික්‍ෂු කතිකාවත සකස්‌ කර චන්ද්‍රිකා රජයටත් මහින්ද රාජපක්‍ෂ රජයටත් ඉදිරිපත් කළා. යම් යම් හේතු පෙන්වමින් ඔවුන් කල් මරමින් භික්‍ෂු සංඝයාට වැදගත් වන මෙම කෙටුම්පත නොසලකා හැරියා. අප මහ නාහිමිවරුන් මින් අදහස්‌ කළේ දැනට ගිහි සමාජයට බලපාන නීති රීති පද්ධතිය තුළ භික්‍ෂු සංඝයාට ඇති බලපෑම්, ගැටලු අවම කොට භික්‍ෂූන් සඳහා වෙනම නෛතික රාමුවක්‌ තනා ගැනීමයි. මෙය වැඩි සම්මතයෙන් පාර්ලිමේන්තුවෙන් පවා අනුමත විය යුතුය. අප භික්‍ෂු සමාජයට පිටතින් පැමිණෙන ඕනෑම බලවේගයක්‌ මැඬපවත්වා ගැනීමටත් මෙමගිස්න් ඉඩ ප්‍රස්‌ථාව සැලසෙනවා.

එසේ තිබියදී ඇතැම් හිමිවරුන් විවිධ අන්තවාදී ජාතිවාදී අදහස්‌ රට තුළ වපුරනවා. එවැනි අයත් භික්‍ෂූන් වහන්සේලා අතරේ සිවුරු පොරවා සිටින්නට පුළුවන්. ඔවුනට කියන්නේ පැහැදිලිව කෙටුම්පත කියවා බලා අවබෝධ කරගන්නා ලෙසයි.

පසුගිය කලෙක තම්බයියා නමැති අයෙක්‌ භික්‍ෂු සමාජය විවේචනය කරමින් ග්‍රන්ථයක්‌ රචනා කළා. එසේම විවිධ පුවත්පත් භික්‍ෂූන් වහන්සේලා හා සංඝ සමාජය ගැන නිර්දය ලෙස විවේචනයන් එල්ල කරමින් පොදු ජනතාව තුළ කලකිරීම් ඇති කළා. ඊටම භික්‍ෂූන් අතළොස්‌සක්‌ ද එක්‌වී සිටිනවා. මේවා යහපත් දේ නොවේ.

(ආණමඩුව – ටෙරන්ස්‌ වනිගසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *