• Thu. Feb 2nd, 2023

ඇඹිලිපිටි පොලිසිය බේරෙන්න බොරු ගොතලා – වාර්ථාවෙන් හෙළිවේ.

ambilipitiya caseපසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය මැන්ඩිස් ගොඩනැගිල්ලේ දී සාදයකට සහභාගි වෙමින් සිටි පිරිස හා පොලිසිය අතර ඇතිවූ ගැටුමේදී ආධාරක පොලිස් කණ්ඩායම් ගොඩනැගිල්ලට ඇතුළුවී කළ ක්‍රියාවලිය නිසා සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියා මරණයට පත්ව ඇතැයි ද පරීක්ෂණ අවසන් නැති නිසා ඊට හේතුව කුමක්දැයි කිව නොහැකි යැයි සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පති ට වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.

පොලිස්පතිගේ නියෝගය අනුව ඔහු මේ වාර්තාව සපයා ඇත.
ඔහුගේ වාර්තාව අනුව ඇඹිලිපිටි පොලිසිය මුලසිටම ඇත්ත කණපිට පෙරළා ඇතැයිද ජංගම මුර සේවයද ආධාරක කණ්ඩායම්ද ඇඹිලිපිටිය මුර සේවයේ දුරකථන ක්‍රියාකරුද එක්ව එකම අදහසක් අනුව අසත්‍ය ප්‍රකාශ කර ඇති බව පෙනේ යැයිද පොලිස්පතිට වාර්තා කර ඇත.

ඇඹිලිපිටිය පොලිසියේ එදා රාත්‍රියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න ගේ සිට දුරකථන ක්‍රියාකරු රෝහණ දක්වා සියලු දෙනාම යම් මට්ටමකින් එහි සිදුවූ සැබෑ තත්ත්වය විකෘති කිරීමට හෝ වසන් කිරීමට හෝ ක්‍රියාකර ඇති බව පෙනේ යැයිද එහෙයින් මීට සම්බන්ධ බව කියන පොලිස් පිරිසට එරෙහිව ක්‍රියා කරන්නේ නම් නීතිපති උපදෙස් ලබාගැනීම සුදුසු යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිට දන්වා ඇත. (ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න කුලියාපිටිය පොලිසියට මාරු කර යවා ඇත.)

සඳුදාට (18) පෙර පොලිස්පති ඔහුගෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇත. සාදයට සහභාගී වූ තිස් ගණනකගේ ද පොලිස් මුර සංචාරයට ගිය පිරිසගේද ආධාරක කණ්ඩායමේද ප්‍රකාශ මේ වාර්තාවට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.
එම වාර්තාව අවධාරණය කරනුයේ එම සාදයේ දී අධික ශබ්දය සහිතව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කළ බවට තොරතුරු ලැබී නැති බවයි. එමෙන්ම සාදයට සහභාගි වූවන් පොලිසියට පහර දුන්නැයි කියන සිද්ධියටද මෙතෙක් සාක්කි ලැබී නැති බවයි.
පොලිස් සැරයන්වරයකු පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී පමණ අහසට වෙඩි තබා ඇතත් ඒ බවට සටහනක් කර නැති බවද පොලිසිය එම සාදය පැවති ගොඩනැගිල්ලට දෙවරක් ගිය බව කියා ඇතත් එයද අසත්‍යයක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ වාර්තාවේ සඳහන් බව දැනගන්නට තිබේ.

ජංගම මුර සේවයට ගිය සැරයන්ගේද සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නගේ ද ජංගම දුරකථන මෙන්ම තවත් ජංගම දුරකථන 20ක පමණ තොරතුරු සෙවීමද මෙම පරීක්ෂණයට වැදගත් බවද පොලිස්පතිට යැවූ වාර්තාවේ සඳහන් වේ. එම සාදයෙන් හිරිහැර සිදුවෙතියි සැරයන් හා සහකාර පොලිස් අධිකාරී ගේ ජංගම දුරකථනවලින් 119 පොලිස් හදිසි ඇමතුමට පණිවිඩ දී ඇති බවට ද තොරතුරු ඇත්දැයි සොයා බැලිය යුතු බව ඔහු පොලිස්පතිට කියා ඇත.

සාදයේ සිටි පිරිස් පොලිසියට පහර දුන්නේදැයි දැනගැනීමට අවට ආයතන හතරක සීසීටීවී කැමරා උපකාරී වනු ඇතැයිද පොලිසියට පහර දුන්නේ යැයි කියන කතාව අසත්‍යයක් විය හැකි බවද මෙම වාර්තාවේ දැක්වේ.
සාදයට සංගීතය සැපයූ කණ්ඩායමේ ප්‍රකාශයද පොලිසියේ ප්‍රකාශද නොගැලපෙන බවත් එවැනි බොහෝ නොගැලපීම්වලට හේතුව ඇඹිලිපිටිය පොලිසියේ සියලු දෙනාම තමන්ගේ බේරීම සඳහා පොදු අරමුණක් යටතේ ක්‍රියා කිරීම බවත් වාර්තාවේ දැක්වේ.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව සාදය පැවැති එම ගොඩනැගිල්ලේ ඝෝෂාකාරී තත්ත්වයක් හෝ ජංගම මුරසේවයට ගිය පොලිසියට එහිදී පහරදීමක් හෝ සිදුවී ඇති බවට පොලිසිය කියන කථා විශ්වාස කළ නොහැකි බවත් පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *