• Tue. Feb 7th, 2023

ඇඟ කිලිපොළා යන පොලිස් කෝලම් දැන්වත් නතර කරන්න.

police kase sri lanka

යුක්ති ධර්මය උදෙසා නොසංසිඳිය යුතු, නොනවත්වා රළ නැගිය යුතු අපේක්ෂා පිළිබඳ අංශු මාත‍්‍රයක් තරම් වූ ආශාව ද කෙමෙන් කෙමෙන් වියැකී යන්නට වෙර දරන මරණාසන්න අවකාශයක් රාමු ගත වෙමින් තිබේ. සාධාරණත්වය ඉල්ලා අහසට එසවෙන අත් එසැණින් කඩා බිඳ දමන්නට සැදී පැහැදී බලා සිටිනා බැටන් පොලූ මුගුරු එක් පසෙකින් දත් – නිය විළිස්සා ඔරවමින් සිටියි. අනෙක් පසින් සටන් කිරීමේ ශුද්ධ වූ අයිතියට අතවර කරමින් මඟ අහුරා සිටින කාකි පොලිස් ඇඳුම්ය. ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූවන්ගේ දැන් අතරින්ම අසාධාරණත්වයේ මුරුගසන් වරුසා ඇද හැලෙන විට රැකවරණය සඳහා ගාල් වන්නට අප කොහෙන් නම් සෙවණක් පතන්නද? කටුනායක, හලාවත, රතුපස්වල, ලිප්ටන් වටරවුම, කොටුව, කොටදෙණියාව, බඳගිරිය පමණක් නොව දැන් ඇඹිලිපිටියද පීරා කණපිට ගසා හෝ අප පිළිතුරක් සොයා ගත යුතුව ඇති ප‍්‍රශ්නය එයයි. එකී ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නට අපේක්ෂා කරන්නකුගේ අවධානය ඉහත නම් කිහිපය හා පහත සිදුවීම් ද්විත්වය වෙත යොමු කරනු කැමැත්තෙමු. ආසන්නතම ඇඹිලිපිටියේ ඛේදවාචකය හා බැඳුණු කාකි ඇඳුමේ හිතුවක්කාරී බලපුළුවන්කාරකම එකී සිදුවීම් ද්විත්වය තුළින් නැගෙන්නා වූ ශෝකී විලාපයයි.
පළමු සිද්ධිය
පොලීසිය ප‍්‍රකාශ කරන ආකාරයට තට්ටු තුනකින් බිමට පැන සියදිවි නසා ගත් තරුණයාගේ. එහෙත් ගම්වාසීන් කියන අන්දමට පොලීසිය විසින් තට්ටු තුනකින් පහළට තල්ලූ කර දමා ඝාතනය කරන ලද සුමිත් ප‍්‍රසන්න තරුණයාගේ මරණය සම්බන්ධ මහෙස්ත‍්‍රාත් විභාගය පසුගිය බදාදා පැවැත්වූයේ ඇඹිලිපිටිය අධිකරණ ශාලාව තුළය. එම නඩුව අවාරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් ශාලාව පසුපසම ඇති ආසනවල සිට උසාවියට ඉදිරිපත් වන සාක්ෂි සටහන් කර ගනිමින් සිටියහ. හදිසියේම ඔවුන් ඉදිරියට අධිකරණයේ රාජකාරි කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයකු කඩා පාත් විය. ඔහු මාධ්‍යවේදීන්ට පවසා සිටියේ අධිකරණයේ කටයුතු වාර්තා කිරීම සඳහා ඉඩ ලබා දිය නොහැකි බවයි.

නමුත් අධිකරණ ශාලාවට ඇතුළු වීමට පෙර එවැනිකාරණයක් පිළිබඳ එම මාධ්‍යවේදීන් දැනුවත් කර තිබුණේ නැත. අධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය සාමාන්‍යයෙන් බහුලව සිදු වන්නකි. සුවිශේෂී අවස්ථාවක ඒ සඳහා ඉඩ ලබා නොදෙයි නම් ඊට පෙර අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කළ යුතුය. නමුත් ඒ කිසිවක්ම නොමැතිව පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් හය දෙනකුට ක්ෂණික වාරණයක් පැනවූයේය. එතැනින් නොනැවතුණු ඔහු මාධ්‍යවේදීන් සතුව තිබූ ලියන කොළ හා සටහන් පොත් ද තමාගේ භාරයට ගත්තේය. ඔහු මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ වාර්තා කළ යුත්තක් නඩු වාර්තාව බලා වාර්තා කරන ලෙසය.

මාධ්‍යවේදීන්ගේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කෙරුණු එකී සිදුවීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා හරහා අධිකරණ රෙජිස්ටාර්වරිය දක්වා ගමන් කළේය. අවසානයේ එය ‘වැරැදි වැටහීමක්’ මත සිදු වූවක් බව පවසා නැවතත් මාධ්‍යවේදීන් වෙත ඔවුන්ගේ භාණ්ඩ ලබා දීම සිදු කෙරිණ. අධිකරණ ශාලාව තුළ නීතියේ කන්‍යාවිය සිය දෙනෙත් බැඳ තබාගෙන වුව ද යටැසින් ඒ දෙස බලා සිටින්නට ඇත. නමුත් වැරැුදි වැටහීම කුමක්දැයි කියා ඇයට ද නිවැරැදි වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතන්නට නම් අපහසුය.

දෙවන සිද්ධිය
සුමිත් ප‍්‍රසන්නගේ ගැබිනි බිරිඳ පසුගිය දිනෙක ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණේ සිදුවීම පිළිබඳ කටඋත්තරයක් ලබා ගැනීමටය. ඇගෙන් ලිඛිත කටඋත්තරයක් ලබා ගත් පොලීසිය එයට අත්සන් කිරීමට ප‍්‍රථම එම කටඋත්තරය නැවත ඇයට කියවීමට ලබා දීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔවුන් ඇයට බල කර සිටියේ කටඋත්තරය කියවා නොබලා එයට අත්සන් කරන ලෙසයි.

නමුත් ඇය ඒ අසාධාරණ ඉල්ලීමට එකඟ නොවී පොලිස් ස්ථානයෙන් පිටව ගියාය. ඉන් පසු ඇය නැවත පොලීසියට පැමිණියේ තමාගේ අත්අකුරින්ම ලියා අත්සන් කරන ලද කටඋත්තරයක් රැුගෙනය. එය පොලීසිය භාරයට පත් විය. නමුත් ඒ කටඋත්තරයට ඉන් පසුව සිදු වූයේ කුමක්දැයි කිසි කෙනකු නිවැරැුදිව දන්නේ නැත.

අපට පවසන්නට අවැසි වු සිදුවීම් දෙකේ සාරාංශය එබඳුය. නමුත් ඒ තුළින් ගම්‍ය කෙරෙන අසාධාරණයේ සහ අයුක්තියේ අඳුරු, මුඩුම, රළු පැහැය නම් කෙබඳුද?

අපට පවසන්නට අවැසි වු සිදුවීම් දෙකේ සාරාංශයහාවා හම ගසා ඌ ලවා තමා වලහා යැයි පාපෝච්චාරණය කරගෙන ලෝකයේ හොඳම පොලීසිය බවට පත් වූ ශ‍්‍රී ලංකාවේ පොලීසිය පිළිබඳ කතන්දරය දැන් පැරැුණි වැඩිය. ‘‘සර්ලා නිකම් මුන්ව හුරතල් කරනවානේ! මං දෙකයි දුන්නේ, මූ පිළිගත්තා කව්සිළුමිණ ලිව්වේ ඌ කියලා’’ කියා පොලිස් ලොක්කා ඉදිරියේ පම්පෝරි ගැසූ පීසී කට්ටාගේ පුරසාරම් ද දැන් යල් පැන ගොස්ය. එබැවින් අපි වෙනත් කතාවක් ඔබට කියන්නෙමු

එක්තරා රටක් පාලනය කළ ඒකාධිපතියෙක් ඇඟපත සෝදා ගැනීමට නාන කාමරයට ගොස් එද්දී අමතක වී තමාගේ අත්ඔරලෝසුව නාන කාමරයේ දමා ආවේය. ඔරලෝසුව තමාගේ අතේ නැති බව ඔහුට වැටහුණේ පැයක් දෙකක් ගත වූ පසුවය. ඔහු සිය සේවකයන් ලවා වහා මුළු නිවසම සෝදිසි කළත් ඔරලෝසුව හමු වූයේ නැත. ඉන් පසු ඔහු කළේ ඒ රටේ පොලීසියේ ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ලබා ගැනීමයි.

‘‘මගේ අත් ඔරලෝසුව නැති වෙලා. මට වහාම ඔරලෝසුවත්, ඒක ගත්ත පුද්ගලයාත් හොයලා උවමනායි’’ ඔහු පොලිස් ප‍්‍රධානියාට කීවේය.

එසේ කියා මිනිත්තු දහයකට පසු ඔහු නැවත අවශ්‍යතාවක් සඳහා නාන කාමරයට ගියේය. තමාගේ ඔරලෝසුව නාන කාමරයේ තිබෙන බව ඔහුට දැක ගන්නට ලැබුණේ එවිටය. වහා ඔරලෝසුව රැුගෙන එළියට පැමිණි ඔහු නැවත පොලිස් ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ගත්තේය.

‘‘හරි, හරි අයිසේ ! ඔරලෝසුව හම්බ වුණා. මට අමතක වෙලා ඒක නාන කාමරේ දාලා ඇවිත්’’

එයට පිළිතුරු ලෙස පොලිස් ප‍්‍රධානියා ඔහුට මෙසේ කීවේය;

‘‘දැන් කරන්න දෙයක් නෑ සර්! දැනටමත් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එතනින් දෙන්නෙක් දැනටමත් වරද පිළිගෙන ඉවරයි!’’

ඒ රටේ මෙන් ඒකාධිපතියෝ පසුගිය සමයේ මේ රටේ ද ජීවත් වූහ. නමුත් ජනතාව එකතු වී පහර දී ඒ ඒකාධිපතියන් සිහසුනින් පන්නා එළවා දැමුවෝය. ඔවුන් එළවා දැමුවත් මේ රටේ පොලීසිය තවමත් ඒ රටේ පොලීසිය මෙන්මය. සිද්ධ වන සිදුවීම් තුළින් පෙනෙන්නට තිබෙන්නේ එයයි. එවිට ජනතාව පොලීසියට එරෙහිව ද පොලූ මුගුරු අතට ගැනීම වරදක් නොවේ.

ඇඹිලිපිටිය සිදුවීමෙන් නැවතත් රටටම ප‍්‍රදර්ශනය වූයේ මෙරට පොලිස් සේවයේ අමනකම, මජරකම සහ හොරිකඩකම පමණක්ය. පසුගිය කාලයක් තිස්සේම ඔවුන් රටේ විවිධ තැන්හි තමන්ගේ ඒ අශ්ලීලත්වය හතර විළි ලැජ්ජාවක් නොමැතිව මුළු රටටම ප‍්‍රදර්ශනය කරමින් සිටියහ. සුමිත් ප‍්‍රසන්න තරුණයා, ඔහුගේ නූපන් දරුවා, ගැබිනි බිරිඳ පමණක් නොව සත්‍යය වෙනුවෙන් ජීවිත පරදුවට තබන මාධ්‍යවේදීන් පවා අද එකී අශ්ලීලත්වයේ ගොදුරු බවට පත් වී හමාරය.

අවසාන වශයෙන් අපි මෙසේ ලියන්නෙමු. උස් තැන් දැක හැකිළෙන, මිටි තැන් දැක පිම්බෙන පොලිස් සේවයක රටකට අවශ්‍ය නැත. එසේම බන්දු – ටෙනී ගණයේ විහිළු සපයන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයකු ද රටකට අවශ්‍ය නැත. රටකට අවැසි වන්නේ යුක්තිය, නීතිය හා සාධාරණත්වයයි. නමුත් ඒ වෙනුවට අයුක්තිය, අවනීතිය හා අසාධාරණය රජ කරවීමට පොලීසිය උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව නිතැතින්ම ජනතාවගේ දෑත් ඉහළට එසවෙනවා ඇත. මහත්වරුණි ! මතක තබා ගන්න අන්න එදිනට ඔබට මුල්ම ගල් පහර එල්ල වන්නේ අපේ අතිනි.

කසුන් සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *