• Thu. Feb 2nd, 2023

ඒකාබද්ධ විපක්ෂය අනතුරේ – ඩලස් ඇතුළු පිරිස බැසිල්ට එරෙහි වෙයි..!!

dalas alahapperuma
ඒකාබද්ධ විපක්ෂය ලෙස හෝ නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ පක්ෂය ගොඩ නැගුවත් කවර හේතුවක් නිසා හෝ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව ඊට එක්කරගත යුතු නැති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා දැඩි මතයක සිටින බව වාර්තා වෙනවා. ඔහුගේ මෙම තීන්දුව සඳහා දිනේෂ් ගුණවර්ධන ඇතුළු ප්‍රබලයින්ගේ සහය ලැබී ඇතැයි සඳහන්.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට මුහුණ පා තිබෙන නායකත්ව ආර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයන් ඊයේ රැස්වූ අවස්ථාවේ දී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ඉතා දැඩිව පවසා ඇත. මෙයට හේතුව වී තිබෙන්නේ දිනා ගැනීමේ හැකියාව තිබූ පසුගිය මැතිවරණ කිහිපයම පරාජයට ඇද දැමීමට කටයුතු කල බව සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා බවට එල්ල වන බරපතළ චෝදනාවය.

පසුගිය රාජපක්ෂ සමයේ දී ශ‍්‍රීලනිපය ලූම්පන් පන්තියේ පක්ෂයක් බවට පත් කෙරුණු බවත් එම තත්ත්වය වහාම වෙනස් කර ශ‍්‍රීලනිපය යළි සාරධර්ම සහිත පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බවත් මෙහි දී අදහස් පළ වීම විශේෂ සිදුවීමකි. බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ නොදිය යුතු මතයේ විමල් වීරවංශ මහතාත් උදය ගම්මන්පිල මහතාත් දැඩිව සිටින බව දැන ගැනීමට තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුන්ගේ හඬ’ කණ්ඩායමේ නියෝජිතයන් ද සහභාගි වූ මෙම සාකච්ඡාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගෙන කටයුතු කළ යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් ගැන ද එකඟතාවකට පැමිණ ඇත.

පවත්නා තත්ත්වය හමුවේ තවදුරටත් ජනාධිපතිවරයා සමඟ තමන්ට හැප්පෙන්න නොහැකි බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට හා එවකට ආණ්ඩුවේ සිටි ප‍්‍රබලයන් ගණනාවකට එල්ල වී ඇති අපරාධ, දූෂණ, වංචා චෝදනා සනාථ කරගත හැකි ලෙස මේ වන විට එම පරීක්ෂණ කටයුතු සිදුව තිබෙන බවත් ඒ අනුව නුදුරේම අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත් මෙම සාකච්ඡාවේ දී ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත.

මේ තත්ත්වය තවදුරටත් ජනාධිපතිවරයා සමඟ වන එදිරිවාදී ගමනකට නුසුදුසු බැවින් ඔහු සමඟ අතරමැද සාමදානයකට පැමිණිය යුතු බව බහුතරයේ තීරණය වී ඇත.

ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණෙන තුරු ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන් පෙනී සිටිය යුතු බවත් තීරණාත්මක අවස්ථාවක දී එජනිස ආණ්ඩුවක් සඳහා එක්වීම විය යුතු බවත් මෙහි දී තීරණය වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාව ඉවත් කර දේශපාලන ගමනක් යෑමට මහින්දවාදීන් සූදානමින් පසුවූව ද බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ස්ථාවරය වන්නේ කිසි දිනෙක මහින්ද රාජපක්ෂ මහතාව අත්නොහැර සිටීම බව ද ඔහු සිය හිතවතුන් සමඟ පවසා ඇත.මේ තත්වය උඩ ඒකාබද්ධ විපක්ෂය පවත්නා මාධ්‍ය සහයෝගය මත වත්මන් ආණ්ඩුවට ඉතා දැඩි පීඩනයක් එල්ලකොට එමගින් එල්ල වී ඇති දූෂණ චෝදනා මග හැර ගැනීමට කටයුතු යොදන බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *