• Mon. Feb 6th, 2023

දුමින්ද සිල්වාගේ කාර්යාලයේ තිබූ රිවෝල්වර කවරයේ ලේ.

BySandun

Jan 20, 2016

duminda silva

දුමින්ද සිල්වාගේ නුගේ‍ගොඩ පක්ෂ කාර්යාලයේ කබඩ් එකක දමා තිබූ රිවෝල්වරයක් තමා අත්අඩංගුවට ගත් බවත්, එම ගිනි අවිය ඔතා තිබූ සුදු පාට කවරයේ ලේ තැවරී තිබූ බවත්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ නඩුවේදී සාක්කි දෙමින් රහස් පොලිසියේ ‍පොලිස් පරීක්ෂක නලින් ද ප්‍රියදර්ශන මහතා පැවසීය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශය භාරයේ තිබූ රිවෝල්වර 11ක් ද තමා භාරයට ගත් බව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (19) සාක්කි දුන් පොලිස් පරීක්ෂක නලින් ද ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී එස්. රණවක ගුණතිලක හා එම්. සී. බී. එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ. 2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට

ආසන්න දිනකදී පැවැති පළාත් පාලන ඡන්දය දින නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කර හිටපු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් ‍මොහොමඩ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, දමින දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදුකළ බවට ද රාජපුරගේ ගාමිණී නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බවට ද නඩුවේ විත්තිකරුවනට එරෙහිව චෝදනා ‍නගා ඇත.

ඡන්ද දායකයන්ට ගිනි අවි පෙන්වා බියගැන්වීම පොදු අරමුණ කරගත් නීති වි‍රෝධී රැස්වීමක සාමාජිකයන්ව කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය යොදා කැරැළි ගැසූ බවට ද එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවට ද නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා ඇත.

අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්. ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අ‍බේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනාරච්චි යන විත්තිකරුවෝ මෙම නඩුවෙන් අධි‍ චෝදනා ලැබ සිටියි.

නඩුවේ 10 වන විත්තිකරුවන ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇති නිසා ඔහු නොමැතිව මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබා දී ඇත.

නඩුවේ තුන්වන හා හත්වන විත්තිකරුවන් වෙනත් නඩුවකට බන්ධනාගාරගතව ඇති හෙයින් නඩු විභාගය සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නලින්ද ප්‍රියදර්ශන මහතා මෙසේ පැවසීය.

දැනට වසර 19 කට පෙර උප සේවා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රහස් පොලිසියට බැඳුණු මා මෙම නඩුවට අදාළ සිද්ධිය වන කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සේවය කළා.

2011 ඔක්තෝබර් මස 09 වැනිදා සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතාගේ උපදෙස් මත ඇමැති ආරක්ෂක අංශයේ අවි ගබඩාවේ තිබූ පිස්තෝල 11ක් මා බාරයට ගත්තා.

එම පිස්තෝලවල අංක සටහන් කර මුද්‍රා තබා සටහන් යොදා මා බාරයට ගෙන රහස් පොලිසියට ගෙනවිත් උපසේවා නිලධාරින් හට එම පිස්තෝල බාර දුන්නා.

පරණ කැස්බෑව පාර නුගේගොඩ ලිපිනයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ පක්ෂ කාර්යාලයට මා 2011.10.10 දින ගියා. සුදු පාට රෙදි කවරයක ඔතා එහි කබඩයක බහා තිබූ රිවෝල්වර අවියක් මා බාරයට ගත්තා. එහි සුදු පාට කවරයේ ලේ තැවරී තිබුණා. එම අවියත් සමඟ උණ්ඩ 10ක් ද ඉටිකවරයක් ද මා බාරයට ගත්තා.

ඉන් පසු 2011/10/11 දින මා යළිත් ඇමැති ආරක්ෂක අංශය වෙත ගොස් 38 වර්ගයේ විශේෂ වර්ගයේ රිවෝල්වරයක් ද මා බාරයට ගත්තා. එම අවියත් සමඟ උණ්ඩ 24ක් ද මා බාරයට ගත්තා.

සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත නිලධාරීන් ගලබඩ නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් සමඟ බකමූණ ප්‍රදේශයට යෑමට පිටත් වුණා. ඒ අවස්ථාවේ පොලිස් අභ්‍යන්තර ඔත්තුකරුවකු මට කතා කර දෙමටගොඩ චමින්ද නමැති මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයෙක් කටුනායකට පැමිණෙන බව මා වෙත දැනුම් දුන්නා. එම තොරතුර සහකාර පොලිස් අධිකාරිවරයාට යොමුකර ඔහුගේ උපදෙස් මත බකමූණ ප්‍රදේශයට නොගොස් දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට ගැනීමට කටුනායක ප්‍රදේශයට ගියා.

ගුවන්තොටුපළ මාර්ගයේ සිට කොළඹට පැමිණීමට ඇති ප්‍රධාන මාර්ගයේ පළමු බස් නැවතුම ඇති 18 කණුව ප්‍රදේශයේ අප ස්ථානගතව සිටියා.

තොරතුරුකරු ඔහුගේ පෞද්ගලික යතුරුපැදියෙන් එතැනට පැමිණියා. ඒ වනවිට දහවල් 1.30 ඇති. ගුවන්තොටුපළ දෙස සිට ත්‍රීවිල් රථයකින් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණියා. ඒ අවස්ථාවේ තොරතුරුකරු සංඥාකර සිටියා. ඉන් පසු ත්‍රීවිල් රථයෙන් බැස්ස පුද්ගලයන් දෙදෙනාහට අප හැඳුනුම්පත් පෙන්වා සිටියා. එම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් සෆ්රාස් ලෙසත් අනිත් පුද්ගලයා දෙමටගොඩ චමින්ද ලෙසටත් හඳුනා ගත්තා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අතුළු සිවුදෙනකු ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා කියවා දී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.

ඔවුන් දෙදෙනා සමඟ ගමන්බෑග් දෙකක් ද අත්අඩංගුවට ගත්තා. එම ගමන්මලු පරීක්ෂා කර ඒවාද මා බාරයට ගත්තා. අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්ද නමැත්තා මෙම නඩුවේ තුන්වන විත්තිකරුයි.

විශේෂකාර්යය බළකායේ නිලධාරීන් ද සමඟ රහස් පොලිස් කණ්ඩායම ගලබඩ නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ ප්‍රදේශයට ගියා. සහකාර පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික තොරතුරුකරු ද අප සමඟ පිටත් වුණා. කුරුණෑගලට පැමිණ ගලබඩ නමැත්තා ගැන තොරතුරු සොයා බලමූණ අංක 18, කොට්ටපිටිය යන ලිපිනය වෙත අප ගියා. සහකාර පොලිස් අධිකාරිවරයාගේ තොරතුරුකරු එම ස්ථානය පෙන්වා සිටියා. අප කණ්ඩායම යනවිට අලුයම 2.00ට පමණ ඇති.

විශේෂකාර්යය බළකා නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප එම නිවස පරීක්ෂා කළා. නිවසේ පුද්ගලයන් සිවුදෙනකු පදිංචිව සිටියා. ඔවුන් කොලොන්නාව හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා.

ඔවුන‍්ගෙන් ප්‍රශ්න කිරීමේදී පරස්පර විරෝධී බවක් දැක්වූ නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය වෙත රැගෙන ආවා. එවිට අලුයම 4.00ට පමණ ආසන්න වුණා.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර දෙම‍ටගොඩ චමින්ද නමැත්තා ඉන්දියාවෙන් පිටුවහල් කළ ලිපි ඔහුගේ ‍විදේශ ගමන් බලපත්‍රය, බෝඩිං පාස් පහක් ඇතුළු භාණ්ඩ රැසක් තිබුණා.

තුන්වන විත්තිකරුවන දෙමටගොඩ චමින්ද නමැත්තාගෙන් 2011/10/17 දින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ප්‍රකාශ ලබාගත්තා. එම ප්‍රකාශ මත දෙමටගොඩ චමින්ද, ඔහුගේ නිවසේ කලුපාට වතුර ටැංකියක් තුළ සඟවා තිබූ රිවෝල්වරයක් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විත්තිකරු ද රැගෙන ගොස් අත්අඩංගුවට ගත්තා. රහස් පොලිස් සැරයන් මෙන්ඩිස් මහතා එම ප්ලාස්ටික් ජල ටැංකියට බැස ටැංකි පතුලේ තිබූ ‍මෙම රිවෝල්වරය සොයොගත්තා. එය ජලය නොයන ලෙස සුදුපාට ඉටිකවරයක දමා ඔතා තිබුණා. එය ජර්මනියේ නිෂ්පාදිත අවියක්.

වැඩිදුරටත් විභාගය අද (20) කල් තැබුණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ අධීනීතිඥ චමින්ද අතුකෝරළ මහතා නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ය.

විත්තිකරුවන් වෙනුවෙන් පිළිවෙළින් නීතිඥ අනෝජ ප්‍රේමරත්න, අශෝක වීරසූරිය, නලින් ද ඉන්දතිස්ස, රවින්ද්‍ර ද සිල්වා, අසේල රැකව, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ නලීන් වීරකෝන්, රංජිත් ගිල්ලගේ යන මහත්වරු පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *