ලෝක උරුම සිංහරාජයට අයත් දෙල්ලව වැසි වනාන්තරය තර්ජනයට ලක්ව ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. ඒ, ඉදිකෙරෙන පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරයක් හේතුවෙන්.
මෙම බලාගාරය ඉදිකරන්නේ ගිං ගඟෙහි අතු ගංඟාවක් වන ආඳා දොළ කේන්ද්‍ර කරගනිමින්. ඒ සඳහා කිලෝමීටර් දෙක හමාරක පමණ පාරිසරික භූමි ප්‍රදේශයක දැනටමත් ඉදිකිරීම් ආරම්භ වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ හේතුවෙන් ආඳා දොළෙහි ජලය සිඳී යාමේ අවදානමක් ද මතුව තිබෙනවා.
වත්මන් අවදානම පිළිබඳ අදහස් දැක්වූ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ සාමාජික සමන් පෙරේරා මහතා.
“කිලෝවොට් 770ක් වගේ පොඩි ප්‍රමාණයකට තමයි මේ ප්‍රධාන විදුලි සම්බන්ධතාවයට එකතු වෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මියනවතුර ප්‍රදේශයේ. කිලෝවොට් 770ක් වෙනුවෙන් කෙරෙන පරිසර විනාශය නම් අති විශාලයි. මම දන්නැහැ කොහොමද මේක මධ්‍යම පරිසර අධිකාරිය අනුමත කළේ කියලා. සක්‍යතා අධ්‍යයන වාර්තාවේ සඳහන් වෙන විදිහට මහජන අදහස් විමසලා නැහැ”.
මෙම විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේ පාරිසරික නීති පවා උල්ලංඝනය කරමින් බවයි වැසි වානන්තර සුරකින්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ආඳා දොළෙහි වෙසෙන ශ්‍රී ලංකාවට ආවේණික පතිරණ සාලයා සහ මල් පුලූට්ටා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂයන් මෙන්ම හොර, තීනියදුන් හා යකහලූ යන වටිනා ශාක ද විනාශ වීමේ අවදානමක් ඇතැයි වැසි වානන්තර සුරකින්නන්ගේ සංගමය පෙන්වා දෙනවා.