• Sat. Jan 28th, 2023

ථෙරවාදී කතිකාවත් පනත කාලීන අවශ්‍යතාවක්‌ | අනිවාර්යයෙන් සම්මත කරගත යුතුයි – දිවියාගහ යසස්‌සි නාහිමි

DIWIYAGAHA YASASSI HIMI

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත කාලීන අවශ්‍යතාවක්‌ බවත් එය දිගු කලක්‌ මෙරට ශික්‍ෂාකාමී බෞද්ධ භික්‍ෂූන් අපේක්‍ෂා කළ දෙයක්‌ බවත් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ අධිකරණ සංඝනායක දිවියාගහ යසස්‌සී නාහිමියෝ පැවසූහ.

භික්‍ෂු සමාජයේ අද ඇති වී තිබෙන පරිහානිය වළක්‌වා ගෙන සංඝ සමාජය ඉදිරියට පවත්වාගෙන යැමට එය බෙහෙවින් ඉවහල් වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ථෙරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (19 දා) උදේ කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ එසේ කියා සිටියහ.

“අපේ බෞද්ධ ශාසනය විනාශ වීමට තුඩුදෙන අවස්‌ථාවලදී ඉන්දියානු රජයේ අනුග්‍රහය ඇතිව සංගායනා තුනක්‌ පැවැත්වූවා. මෙවැනි තත්ත්වයක්‌ තමයි අද අපේ රටේ ඇති වී තිබෙන්නේ. ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය නිසා ශාසනය විනාශ වෙනවා. ඊට එරෙහිව කටයුතු කරන්න නාහිමිවරුන්ට ඒ ඒ නිකායන්ට නීතිමය බලයක්‌ ලැබෙන්නෙ මේ පනත සම්මත කරගත්තොත් පමණයි. ඒ නිසා මේ පනත අනිවාර්යයෙන්ම සම්මත කරගන්න ඕනේ. ඒකේ අඩුපාඩු හදාගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ යෑයි ද නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ විෙද්‍යාදය පරිවේණාධ්‍යක්‍ෂ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි,

“මේ පනත බොහෝ කාලයක්‌ තිස්‌සේ සකස්‌ කළ එකක්‌. ප්‍රධාන නිකාය තුනට අමතරව නිකාය පාර්ශ්ව 30 ක පමණ මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර මේ පනත හදන්න අපිත් සම්මාදම් වුණා. මහනාහිමිවරුන් සියලු දෙනාගේ එකඟත්වයෙන් තමයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් අපිට මේ පනතේ යම් අඩුපාඩුවක්‌ තිබෙනවා නම් ඒකත් හදාගෙන එය සම්මත කර ගන්න අවස්‌ථාව තිබෙනවා. මේ විදිහට හෝ ශාසනය ආරක්‍ෂා කර ගන්න වත්මන් රජය කටයුතු කිරීම පිළිබඳ ශාසනයේ ගෞරවය රජයට හිමිවන බව ද අකුරටියේ නන්ද නාහිමියෝ සඳහන් කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඕමල්පේ සෝභිත හිමි සහ බලපිටියේ සීවලී හිමියෝ ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *