මහා නායක හිමිවරුන් ප්‍රධාන සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ථේරවාදී භික්ෂු කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එහි අරමුණ භික්ෂූන් පාලනයට රජයෙන් නීති පැනවීමක් නොවේ යැයි ගලගම අත්ථදස්සී අස්ගිරි මහ නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියති.
නිවේදනය මෙසේය.
“ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ මේ දිනවල පක්ෂව සහ විපක්ෂව රටපුරා විවිධ මතවාද පැතිරෙමින් පවතී. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව කිව යුතුය.
මාධ්‍ය මගින් මේ පනත පිළිබඳ අනාවරණය කළ ස්වරූපය නිසා ගිහි පැවිදි බොහෝ දෙනා තුළ යම්කිසි කැළඹීමක් ඇතිවී තිබෙන බව පෙනී යයි. මෙය භික්ෂූන්වහන්සේලා පාලනය කිරීම සඳහා රජය මගින් නීති පැනවීමක් නොවේ. ඒ ඒ භික්ෂු නිකාය හා පාර්ශව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් බව අවධාරණයෙන් කිව යුතු ඇත.
එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් කරුණු මෙම පනතට ඇතුළත් කර තිබීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිවූවාය යනු අපගේ හැඟීමයි. ඒ පිළිබඳ අප අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව තවදුරටත් අධ්‍යයනය කොට අපගේ අදහස රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම පනත කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටිම්හ”