ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිව සිටි ඞී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබේ.
ඒ අනූව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සෙසු පොලිස් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය 4දා රාත්‍රී ඇඹිලිපිටිය නවනගරයේ නිවසක පැවැති සාදයක් අතරතුර පොලීසිය සමග ඇතිකර ගත් ගැටුමකින් තුවාල ලබා සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියගිය අතර මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යයෙන් ලබාදුන් දැඩි ප්‍රචාරය හමුවේ ඉහත නම් සඳහන් කළ උසස් නිලධාරීන් ඇතුළු පිරිසකට ස්ථාන මාරු ලබාදෙන ලදී.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝග මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් අතර ඒ අනුව රත්නපුර කොට්ඨාසයේ රාජකාරි කළ ඞී.ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා කුලියාපිටිය කොට්ඨාසයටත් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිව සිට තාවකාලිකව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර සිටින එස්.ආර්.ජේ. ඩයස් මහතා පොලිස් මූලස්ථානයටත් මාරු කෙරිණ.