• Sun. Jan 29th, 2023

මෛත්‍රීගේ ප්‍රමුඛතාවය විය යුත්තේ රටද, ශ්‍රීලනිපයද..?

slfp
මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග‍්‍රහණයෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද නායකයා වන්නේය. එයින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව යම් අන්දමකින් බල රහිත විය. තමා සැබවින්ම පරාජය වූ බව මහින්ද රාජපක්ෂ පිළිගත්තේය. එහෙත් ඔහුට දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට ඉඩක් නොලැබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා ගොනු වුණ කුඩා පක්ෂ තමන්ගේ දේශපාලන ඉරණම ගැන කථිකාවක් ගොඩ නඟා ගනිමින් තමන්ගේ ඉරණම විසඳගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මල් වට්ටියක් බවට පරිවර්තනය කර ගන්නේය.

පළමු ඉනිම

මහින්ද සමඟ නැඟිටිමු යනුවෙන් ගොඩ නැෙඟන්නේ තරගයේ තීරණය පිළි නොගෙන යළි තරග කිරීමට සමාන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකි. දේශපාලන බලය අහිමි වුව විශාල ධනයක් හිමි කර ගෙන සිටි මහින්ද රාජපක්ෂට දීර්ඝ කාලයක් තමන්ට අභිමත අන්දමට ගොඩ නඟා ගත් රාජ්‍ය යාන්ත‍්‍රණය යළි දේශපාලනය කිරීමට පරිහරණය කළ හැකි වන්නේය. මහින්දකරණය වී සිටි රාජ්‍යයාන්ත‍්‍රණයේ බහුතරයක් අලූත් සිහිනයක් දකිමින් 2015 ජනවරම නොසලකා හරින තැනකට තල්ලූ වූහ.

මහින්ද සමඟ නැගිටිමු බලවේගය යළි මහින්ද රාජපක්ෂට බලය ලබා ගන්නා බව පවසන විට, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා සිටියේ මහින්ද රාජපක්ෂට තමන් කිස්සේත්ම නාම යෝජනා ලබා නොදෙන බවයි. එ් බව විවිධාකාරයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය. අවධාරණය කළේය. එහෙත් මහින්ද වෙනුවෙන් කැපවුණ ශී‍්‍රලනිපයේ හා සන්ධානයේ පිරිස් ජයග‍්‍රහණය කළේය. එය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පරාජයකි. මේ සම්බන්ධව ජනාධිපතිවරයා පවසා සිටියේ ශී‍්‍රලනිපයෙන් නාම යෝජනා ලබා නොදුන්නේ නම් වෙනම පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන නිසා තමන් නිහඬ වූ බවය. එ් නිහඬ වීම එතුමාට ලැබුණ ජනවරමට පිටුපෑමකි. එ් සමඟින් ජනාධිපතිවරයා ගොඩ නඟා ගත් කීර්තිනාමය පළුදු විය. නීතිගරුක පුරවැසියන්ගේ නෙතට ලක්වුණ අරවින්දය සැඟව ගියේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස වෙනම පක්ෂයකින් ඉදිරිපත් වී නම් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් වරමක් ලබන්නේ ද? කිසිසේත්ම නැත. එවිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද ආණ්ඩුවක් පිහිටුවීමට තරම් වරමක් හිමි වන්නේ නැත. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට බලයක් ලබා ගන්නේය. එ් තත්ත්වය ඉතා පැහැදිලිය. එසේ වී නම් ලංකාවේ දේශපාලන සංස්කෘතිය අද පවතින ව්‍යාකූල තත්ත්වයට පත් වන්නේ නැත. එහි ඇති වරද කුමක්ද? කිසි වරදක් නැත. එසේ පවසන්නේ එ් වන විට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ ආණ්ඩුව පරාදකර හමාර නිසාය. පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලැබුණ ඡුන්දවලින් වැඩිම ප‍්‍රමාණයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයෙනි.

යම් දේශපාලන පක්ෂයක් පරාජයට මැතිවරණයකින් පත්වූ පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා එ් පරාජය භාරගත යුතුය. ඉක්බිතිව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු යයි ඉන් අදහස් නොකෙරේ. නැවත රාජ්‍ය පාලනය උදෙසා පක්ෂය ප‍්‍රතිසංවිධානය කළ යුතුය. එහෙත් සිදු වුණේ කුමක් ද? පක්ෂයේ කිසිම ප‍්‍රතිසංවිධානයකින් තොරව යළි රාජ්‍ය පාලනය උදෙසා පියවර ගැනීමය. මෙහිදී ජනාධිපතිවරයා අතින් වරදක් සිදුවී ද? සිදු විය. එ් වරද කළේ ජනාධිපතිවරයා නොව, ඔහුට සමීපව සිටි පිරිසය. ශී‍්‍රලනිපයේ මළගම නිර්මාණය කිරීමේ දේෂාරෝපණය, ජනාධිපතිවරයාට අත්විඳින්නට සිදු වන්නේය යන කාරණාව පෙරටු කරගෙන ඔහුගේ මනස ව්‍යාකූල කළේය. එ් නිසා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙමින් පිළිබිඹු කළ රාජ්‍යතාන්ති‍්‍රකයෙකු ලෙස කටයුතු කිරීමට වූ සූදානම, ඊට අදාළව පිළියෙළ වූ න්‍යාය පත‍්‍රය ජනාධිපතිවරයා අතින් ගිලිහිණි.

මහින්ද රාජපක්ෂ නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත්, ඔහුට විශ‍්‍රාම සුවයෙන් සිටින්නට විශේෂ තත්ත්වයක් නිර්මාණය කරන බවත්, ඔහු ඊට එකඟ වූ බවත්, ඔහුගේ පරාජයෙන් පසුව සීරුවට අනාවරණය වූ කාරණාවකි. එහෙත් එය රාජපක්ෂවරුන් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට ගිල්වන ලද ඇමකි. එ් ඇම ජනාධිපතිවරයාට ගිල්වන ලද්දේ ඔහුට සමීපව සිටි පිරිසය. මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට එන්නේ නැත යනුවෙන් ඇති කරගෙන තිබුණ විශ්වාසය අනපේක්ෂිතව භංග වීම සමඟින් ජනාධිපතිවරයා විශාල අර්බුදයකට මුහුණ දෙන්නේය. එ් වෙනුවෙන් ඔහුට විශාල වන්දියක් ගෙවීමට සිදු වුණ බව පැහැදිය.

දෙවන ඉනිම

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය ලැබීමට නොහැකි වුව, අගමැති වීමේ අපේක්ෂාව සුන් වුව, ඉන් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ‍්‍රාම නොගැනීමට අදිටන් කර ගන්නේය. එ් අදිටන වෙනුවෙන් ඔහු දිරිමත් කරන කටයුතු ආණ්ඩුවෙන් සිදු කෙරුණ බව හා සිදු කරන තත්ත්වයක් ද සැබවින්ම ඇත.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහු වෙනුවෙන් කැපවුණ පුද්ගලයන්ගෙන් බහුතරයක් මේ වන විට ජනාධිපතිවරයා ඈත් කර දමා තිබේ. ජනාධිපතිවරයා ළංකර ගෙන තිබෙන්නේ හා ළංකර ගැනීමට උත්සුක වී සිටින්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණ පුද්ගලයන්ය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා සම්බන්ධ සියලූ දේ, රාජ්‍ය පාලනයට අදාළ දේ මෙන්ම, පෞද්ගලික ජීවිතයට අදාළ සියලූ දේ රාජපක්ෂවරුන්ට විධිමත්ව වාර්තා වන ‘එසැණ පුවත්’ සේවයක් නිර්මාණය වී තිබේ. මේ වූ කලි ජනාධිපතිවරයා සුවපහසු පුටුවක වාඩිවී අහසේ සිරි නරඹන විට ඔහු වාඩි වී සිටින පුටුව තිබෙන භූමිය යටින් හාරමින් විශාල ප‍්‍රපාතයක් නිර්මාණය කිරීමක් වැනිය. එය සිදු වන අන්දම ඉතා සූක්ෂ්මය. ජනාධිපතිවරයා සමීප කර ගෙන සිටින පුද්ගලයන් ගණනාවකට තවමත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ‘රහස් වැටුපක්’ ලැබෙන බව හෝ නොදන්නා තරම් අඳුරක සිටින බවය පෙනී යන්නේ. මේ කටයුත්තේ න්‍යායචාර්යවරයා වී සිටින්නේ ද, දේශපාලනය අත හරිනවා යයි ප‍්‍රකාශ කළ, යළි කරළියේ පේන්නට ද එන තවත් රාජපක්ෂවරයෙකි.

මහින්ද රාජපක්ෂ මහතා දෙවන ඉනිමට සූදානම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළින් නොව ගරිල්ලා ප‍්‍රහාරයකිනි. එ් වෙනුවෙන් ඔහුගේ වෑයම මේ වන විට සාර්ථක වෙමින් පවතී. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමීප කර ගෙන සිටින මහින්ද මෛතී‍්‍ර සම්බන්ධයක් වෙනුවෙන් කපුකම් කරන පුද්ගලයෙකු බීමතින් ෙදාඩමළුව පවසා තිබෙන්නේ, ”දැන් ලොක්කාට ඕනෑ චූන් වෙන්න විතරයි” යන්නය.

මහින්ද රාජපක්ෂ දෙවන ඉනිම වෙනුවෙන් සූදානම් වන්නේ අලූත් පුහුණුකරුවන් සමඟ නොව තමන්ගේ බැලයන්ව සිටි පුද්ගලයන්, ජනාධිපතිවරයාට සමීප වෙන්නට අවශ්‍ය කටයුතු සිදු කර ඔවුන් හරහා කණ්ඩායමේ සැලසුම් පිටතට ගැනීමට අවධානය යොමු කරමිනි. ජනාධිපතිවරයා මේ සම්බන්ධව නොදන්නවා පමණක් නොව, එ් සම්බන්ධ ඇත්ත පිළිගැනීමට ද සූදානම් නැති තත්ත්වයක් තිබෙන බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂම පවසා තිබෙන්නේ පළමු තරගයෙන් පරාද නොවුණ බවත්, ජයග‍්‍රහණය හොරකම් කළ බවත් ඉන් යහපතක් සිදු වුණ බවත්ය. එ් යහපත ගැන කියමින් ඔහු පවසා තිබෙන්නේ මැතිවරණයට ඉදිරිපත්වීමෙන් හොඳ එන්නතක් ලැබුණ බවය.

අභියෝගය

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් අතින් සිදු වන වැරදි වටහා ගන්නේ සෙමින්ය. එක්කෝ තමන් අතින් කිසි වරදක් සිදු වන්නේ නැතය යන මානසිකත්වයෙන් කටයුතු කරන්නේය. සාමාන්‍යයෙන් පාලකයෙකුට සත්‍යය වසන් කිරීම මෙන්ම, සත්‍යය අවබෝධ කර නොදීම ද වන්දිභට්ටයන්ගේ ස්වභාවයයි. එය සියල්ලටම වඩා නරකය. කවර තත්ත්වයක කෙනෙකුට වුව ඉදිරියට යාමට ලැබෙන ශක්තිය උරුම වන්නේ ගමන තුළ සිදු වුණ වැරදීම් වටහා ගැනීමෙන් හා අවංකව හා විවෘතව සමාලෝචනයක යෙදීමෙන්ය. කිසියම් හේතුවක් මත කළ දෙයක් අත් කර දෙන ප‍්‍රතිඵල නරක නම් අනුදත් මාර්ගය වෙනස් කළ යුතුමය.

ආණ්ඩුව ගෙන යන්නට සිය පක්ෂයේ සහාය ලබා ගැනීම වෙනුවෙන් යම් කාර්යභාරයක් ජනාධිපතිවරයාට ඇති බව ඉතා පැහැදිලිය. අභාග්‍යය වන්නේ ජනාධිපතිවරයා එ් කාර්භාරය අතික‍්‍රමණය කිරීමයි. එ් කුමටද? යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන්ද? නැත. පක්ෂය ගොඩගැනීම පිණිස බව පැහැදිලිය. එය එතුමා පොදු අපේක්ෂකයා හැටියට පිළිගෙන ජයග‍්‍රහණය කළ ජනතාභිලාෂය නොවේ. ජනාධිපතිවරයාට සමීපව සිටින කාගේ හෝ උවමනාවන් වෙනුවෙන් රටක අපේක්ෂා වළ දමන්නේ නම් එය අපරාදයකි. අද වන විට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාට සමීප පිරිස කරන වැරදි සුළුපටු එ්වා නොවන බවයි. පක්ෂය රැුකගත යුතුය යන අදහස ජනාධිපතිවරයාට එ්ත්තු ගන්වමින් කරන කටයුතුවල ප‍්‍රතිඵලය කුමක් විය හැකිද? මෙහිදී සැබවින්ම සිදු වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අකල් මරණයකට පත් වීමය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අකල් මරණයකට පත් කිරීමේ ව්‍යායාමය දියත් කෙරෙන්නේ ජනාධිපතිවරයා බලයට පත් වුණ දා සිටම යයි සිතේ. දේශපාලන පක්ෂයක් මහජනතාව විසින් පරාජයට පත් කළ පසුව, එ් පක්ෂයේ නායකයන් සිදු කළ යුත්තේ හොර පාරෙන් ඇවිත් යළි බලය අත්පත් කර ගැනීම නොවේ. කළ යුත්තේ ප‍්‍රථමයෙන් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමය. එය යම් කාලයක් අරගෙන සිදු කළ යුතුය. එහිදී පක්ෂ යාන්ත‍්‍රණය තුළ කැටි ගැසී තිබෙන කුණු ලේ ඉවත් කොට අලූත් ලේ එකතු කළ යුතුය.

ජේආර් ජයවර්ධන බින්දුවට වැටී තිබුණ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතිසංවිධානය කළ අන්දම ගැන කියවා බලන විට පෙනී යන්නේ පරාජය වූ පසුව යළි දේශපාලන බලය උරුම කර ගැනීම ක්ෂණිකව සිදු කළ හැකි කටයුත්තක් නොවන බවයි. කවර දේශපාලන පක්ෂයක් වුව පිරිහෙන්නේ කරුණු දෙකක් ඔස්සේය. 1. පක්ෂයේ දර්ශනය විපරීත වීම 2. පක්ෂයේ භූමිකා අසාර්ථක වීම.

මහින්ද රාජපක්ෂ කළේ පක්ෂයේ දර්ශනය සහ මුලින්ම විපරීත කිරීමය. වැඩවසම් ගතිලක්ෂණවලින් පක්ෂයේ සාමාජිකයන්ගේ සිත්සතන් වෙනස් කිරීමය. මොන අන්දමකින්වත් මහජන නියෝජිතයන් වෙන්නට නුසුදුසු පුද්ගලයන් මහජන නියෝජිතයන් බවට පත් කරගෙන ඔවුන් තම අතවැස්සන් කර ගැනීමය. එ් සඳහා ගැළපෙන චරිතවලට ඔහු නිසි තැන ලබා දුන්නේ නොපැකිලවය. ඔවුන් ද රිසි අන්දමට ජාතිවාදය හා ආගම්වාදය මැනවින් දඩමීමා කරගෙන ප‍්‍රතිරූප තනා ගත්හ. එ් කුමට ද? විචාරශීලී නොවන ජන සමාජයක් ග‍්‍රහණයට නතු කර ගැනීමට පහසුම ක‍්‍රමය එය වන බැවිනි.

මහින්ද රාජපක්ෂ තව යමක් කළේය. රිසි අන්දමින් හරි හම්බ කර ගැනීමට සිය හෙංචයියන්ට ෙදාරටු විවර කර දුන්නේය. ප‍්‍රාදේශීය දේශපාලනය තුළ මතු වුණ චරිත සේරම පාහේ අසංස්කෘතික පුද්ගලයන්ය. ඔවුන් ශී‍්‍රලනිපය බණ්ඩාරනායක ගොඩ නැඟූ පක්ෂය ලෙස නොවේය දකින්නේ. ඔවුන් දකින්නේ ශී‍්‍රලනිපය මහින්ද මහත්තයාගේ පක්ෂය ලෙසිනි. මේ දෘෂ්ටියේ න්‍යායාචාර්යවරයා වූයේ බැසිල් රාජපක්ෂය. අද මහින්ද අවශ්‍යයි යන හඬ නඟන්නේ යට කී අන්දමට හරි හම්බ කර ගත් උදවියයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මොන අන්දමකින් හෝ බලය පමණි.

මහින්ද රාජපක්ෂ සිය පාලන සමය තුළ කිසිම වැදගත් පුද්ගලයෙකුට ඉදිරියට එන්නට ඉඩ දුන්නේ නැත. සිය සහෝදරයාගේ පුත‍්‍රයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂට පවා ජාතික තලයේ දේශපාලනයට ෙදාර විවර කළේ නැත. ඔහුව රටේ කොනකට කර නාමල් රාජපක්ෂට තනිවම ගොඩ නැෙඟන්නට පසුබිම සකස් කළේය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සිදු වුණේ ඉවසීමෙන් පැත්තකට වෙන්නටය. තවත් දෙයක් සිදු විය. එ් කුමක් ද? ඔවුන්ට අවශ්‍ය අන්දමට හරි හම්බ කර ගැනීමට ඉඩ දී දෙපාවලට විලංගු දැමීමය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් කරළියට එන්නේ ශී‍්‍රලනිපයෙන් හැට දෙනෙකු සමඟය යන කතාව ප‍්‍රබලව අසන්නට ලැබුණි. එහෙත් ආවේ පස් දෙනෙකි. සැලකිය යුතු සංඛ්‍යාවක් නොපැමිණියේ මන්ද? මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ මුසාවක්ද? නැත. එසේ නම් නොපැමිණියේ මන්ද? දෙපාවලට විලංගු දමා තිබෙන බව ඔවුන්ට වැටහෙන්නේ දෙපයින් ඇවිදින්නට පළමු පියවර තැබීමට වෙර දරන විට දී ය. එ් තත්වය අපට වටහා ගත හැකිය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම සඳහා කාලය උදා වන විට සිදු වන්නේ කුමක් ද? මෛතී‍්‍රපාල සමඟ එළියට එන්නට පොරොන්දු වී සිටි, දෙපා වාරු නැතිකමෙන් එන්නට නොහැකි වුණ උදවිය මෛතී‍්‍ර ඳී මහින්ද සම්බන්ධයට කල් මනිමින් සැලසුම් සම්පාදනය කිරීමය. එහි ප‍්‍රතිඵලය කුමක් ද? පළමුව මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දුන් පොරොන්දුව කඩ කළේ ජයග‍්‍රහණය ස්ථිර නැත, පරාජය වුණත් බලය නොපවරන්නේය යන කාරණය බලසම්පන්නව නැඟී සිටි නිසා බව පිළිගත හැකිය. ජයග‍්‍රාහකයා සමඟ පරාජිතයා හාද කිරීමට උත්සුක වූයේ මන් ද? මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ගැඹුරින් තේරුම් නොගත් කාරණය එයයි.

යළි තොණ්ඩුව දැමීම

මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2015 දී පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මේ රටේ බහුතර ජනතාවක්, නීතිගරුක පුරවැසියන් කැප වුණේ, රට ගොඩ ගැනීමට විනා, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට නොවේ. මේ වන විට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එ් කාරණය අමතක කර දමා තිබේ ද?

එස්බී දිසානායක හා පිරිසක් යම් කාර්යභාරයක නිමග්නව සිටිති. එ් කුමක්ද? යළිත් මහින්ද ඳී මෛතී‍්‍ර සම්බන්ධයක් ගොඩ නැඟීමය.
එස් බී ඇතුළු පිරිසක් යමක් කරනවා නම් එය කරන්නේ, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමැත්ත පිට යයි සිතන්නට සාධාරණ කරුණු දිනෙන් දින විඉමාන වේ. සැබවින්ම විඉමාන කරුණු නිසා පමණක් නොව අවබෝධ වන කරුණු නිසාත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට කැපවුණ ජනතාව විදිමින් සිටින්නේ අමිහිරි අත්දැකීම්ය. මේ කාරණාව ගැන සිත යොමු කරන විට සිහි වෙන්නේ විභූතිභූෂණගේ ”ද්විත්ව” නමැති කෙටි කතාවයි. එ් කතාවේ කියවෙන්නේ, බිරිඳ සමඟ ජීවිතය වෙහෙසකර යයි සිතා, ඇය හැර දමා වෙන කාන්තාවක සමඟ ජීවිතයක් පටන් ගත් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයයි. ඔහු තිර අදිටනින් අලූත් ජීවිතයක් ගොඩ නඟා ගන්නේය. අලූත් බිරිඳ අයත් වන්නේ වෙනත් පැළැන්තියකටය. එ් නිසා ඇය සමඟ ජීවිතය හිතූ තරම් මිහිරි නැත. ඇගේ නෑදෑයන් සමඟ ආශ‍්‍රය ද තරමක් වෙහෙසකරය. එහෙත් අලූත් බිරිඳ මේ තැනැත්තා කෙරේ ගෞරවනීය ජීවිතයකි ගත කරන්නේ. මේ අතරවාරයේ පැරණි බිරිඳගේ ඥාතියෙක් මොහුට මුණ ගැසේ. එ් තැනැත්තා පවසන්නේ ප‍්‍රශ්න අමතක කර දරු දෙදෙනා ගැන හිතා යළි සමාදාන වන ලෙසයි. එ් යෝජනාවට ඔහු කැමති වන්නේ ද නැත. අකමැති වන්නේ ද නැත. එහෙත් ඥාතියා සම්බන්ධය යළි ඇති කිරීමට පියවර ගනියි. මේ අතරවාරයේ අලූත් බිරිඳ ගැබ් ගනියි. මේ පුද්ගලයා සදාචාරාත්මක ප‍්‍රශ්නයකට මැදි වේ. පැරණි බිරිඳ පවසන්නේ අලූත් බිරිඳ හැර දමා එන ලෙසයි. එය කිරීමට ඔහුට නොහැකි වෙයි. කාලයක් ගත වේ. පැරණි බිරිඳගේ ඥාතියා සහ තවත් ඥාතියෙක් එකතුව දෙවන වතාවටත් මේ පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ සමඟ සම්බන්ධය ගොඩ නැඟීමට උත්සුක වෙති. එ් උත්සාහය අසාර්ථක වන්නේ අලූත් බිරිඳ දෙවන වතාවටත් ගැබ් ගත් බැවිනි.

මනුෂ්‍යයකුගේ ජීවන ගැටලූව අතිශයින් පෞද්ගලිකය. එහෙත් රටකට අදාළ ගැටලූව කිසිසේත් පෞද්ගලික නැත.
ලංකාවට ආවේණික සංස්කෘතික කාරණ මෙන්ම, ලංකා සමාජයට අදාළ දෘෂ්ටිමය කාරණා නිසා අපේ රට ඉදිරියට ගමන් කිරීමට විවර වන ෙදාරටු වැසී යන්නේ ඉතා අනුවේදනීය අන්දමටය. මේ යථාර්ථය ගම්‍ය වන කවි පන්තියක් සිරි ගුනසිංහ විසින් ”ඊයේ පෙරෙයිදා පළමුදා” යන මැයෙන් ලියා ඇත. එ් කවි පන්තියෙන් නිරූපණය වන්නේ යථාර්ථය අවබෝධ කර ගත් බැවින් ගතානුගතික දෘෂ්ටිවාද බැහැර කොට නවීන ලෝකයට පා තැබීමට තීන්දු කළ පුද්ගලයෙකුට තමා පාලනය කර ගැනීමට තිබෙන අපහසුතාවයි.

ඉතිහාසය පුරා එකම දේ නැවත නැවත සිදු වන බව සත්තකි.
මහින්ද රාජපක්ෂ නැතිව දිනන්නට බැරිය යන ප‍්‍රවාදය තුළ තිබෙන තවත් දරුණු මානසිකත්වයක් ඇත. එ් කුමක් ද? එය නම්, බලය ලබා ගැනීමට ඕනෑම පහත් වැඩක්, ඕනෑම තක්කඩි වැඩක් කිරීමට ඇතැමුන් සූදානම් බවයි. දෙවන වතාවටත් දියත් කර තිබෙන එ් කි‍්‍රයාකලාපය පවසන අප‍්‍රසන්න කාරණයක් ඇත. එය ගඳ සුවඳ දැනෙන කෙනෙකුට නම් ඉවසිය නොහැකිය. එ් කුමක් ද? මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා දේශපාලන භූමිකාව අවසන් නොවුණ, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා හිර බත් නොකන පුද්ගලයන්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා නින්දිත ලෙස අවප‍්‍රමාණ කිරීමයි.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා දෙවන වතාවටත් මේ රටේ නීතිගරුක පුරවැසියන්ට වේදනාකාරී අත්දැකීමක් උරුම කරන්නේ ද.? එසේ නැතහොත් පක්ෂය දිනවීම යන කාරණය දෙවෙනි තැනට තබා රට දිනවීම න්‍යාය පත‍්‍රයේ පෙරට ගන්නේ ද.? මෙය ඉතා තීරණාත්මකය.

(මහාචාර්ය සරත් විජේසූරිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *