ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාරින් අත්අඩංගුවට නොගන්නා බව නිතීඥ විජිත ජී. පුංචිහේවා මහතා පවසයි.
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා 27දා දුන් නියෝගය අනුව එදින සාක්කි දුන් මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිය දුන් සාක්කියෙන් කියවුණු සැකකරුවන් දෙදෙනකු පොලිස් මුලස්ථානයේ සේවය කරන නමුදු ඔවුන් අත්අඩංගුවට නොගන්නේ පොලීසිය අධිකරණයටත් ඉහළින් ක්‍රියා කරන නිසාදැයි ජනතාවට සැකයක් මතුවන බවත් නීතීඥවරයා පැවසුවේ ය.
“මහේස්ත්‍රාත්වරයා පැහැදිලි නියෝගයක් දුන්නා සාක්කිකාරිගේ සාක්කියෙන් කියවෙන සැකකරුවන් සියලූ දෙනාම අත්අඩංගුවට ගන්න කියලා. ඇත්තටම එහෙම නියෝගයක් දීම අවශ්‍ය නෑ. පොලිසියට පුළුවන් විමර්ශනයේදී අනාවරණය වන සැකකරුවන් අත්අඩංගුවට ගන්න. එහෙම නොවුන නිසා තමයි රජයේ නිතීඥ දිලීප පිරිස් විශේෂ ඉල්ලිමක් කරලා එහෙම නියෝගයක් ලබාගත්තේ. තියන ප්රශ්නය තමයි දැන් පැය විසිපහක් ගතවෙලා තියන මොහොත වනවිටත් ඔවුන් අධිකරණයක් හමුවට හෝ පොලිසියකට බාරවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් හෝ නෑ. මොන හේතුවක් මත ඉහළ පොලිස් නිලධාරීන් නිද්රාශිලිව කටයුතු කරන්නේ දැයි මම දන්නේ නෑ. මේ නිසා මහජනතාවගේ නොසන්සුන්තාවක් ඇතිවෙනවා. අධිකරණය දීපු නියෝගයක් ක්‍රියාත්මක නොකිරිම පිළිබඳව පොලීසිය ගැන කනස්සල්ලක් ඇතිවෙනවා. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්’ යැයි පුංචිහේවා මහතා කීවේය.
පොලීසියේ ඉහළම නිලධාරියකුගේ කකුලෙන් ඇදීමක් නිසා සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බවත් පරීක්ෂණ හරියට කිරීමටවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටවත් යුහුසුළු නොවන්නේ ඔවුන්ගේ බලපෑම නිසා බවත් මෙය පොලිස් දෙපාර්තමේන්තුවටම මහා නිග්‍රහයක් බවත් නීතිඥ පුංචිහේවා සඳහන් කළේ ය.