• Mon. Feb 6th, 2023

භික්ෂු පනත ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටුබලයක් – රාමඤ්ඤ නිකායේ මහනාහිමි

napane premasiri maha naimiථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත කලක පටන් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන් රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත් එය යම් යම් සංශෝධන සහිතව සම්මත කැර ගැනීම ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටුබලයක් බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක නාපානේ පේමසිරි මහ නාහිමියෝ පවසති.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට ගිහිපැවිදි දෙපාර්ශ්වය තුළ පක්ෂ විපක්ෂ මත ගොඩනැගී තිබෙන බවත් මෙය පුළුල් සංවාදයකට ලක්වීම යහපත් බවත් උන්වහන්සේ පවසති. සංවාදය තුළින් වඩාහොඳ කුමක්ද යන්න තෝරා බේරාගෙන පොදු එකඟතාවකට පැමිණ මෙම පනත් කෙටුම්පත සම්මත කැරගැනීම කාලීන අවශ්‍යතාවක් බවද මහ නාහිමියෝ පෙන්වා දෙති.

මෙම පනත් කෙටුම්පත සම්මත කැරගැනීම රජය විසින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට ගත් වෑයමක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් ගන්නා උත්සහය නිවැරදි නොවන බවත් රජය කළේ මහා සංඝරත්නයේ ඉල්ලීමට කන්දී සඟ සසුනේ ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වලට නෛතික බලයක් ලබාදීම පමණක් බවත් උන්වහන්සේ කීහ.

වර්තමානයේ භික්ෂු විනයට පටහැණිව කටයුතු කැරන ස්වාමින් වහන්සේලා සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට මහනාහිමිවරුන්ට හැකියාව ඇතත් එම තීන්දු ක්‍රියාත්මක කිරීමට යාමේදී බරපතල ගැටලු මතුවන බවත් පවසන මහනාහියෝ පනත් කෙටුම්පත සම්මත කැරගෙන ඒ අනුව එක් එක් නිකායන් මගින් සංඝ කතිකාවත් සකස්කැර නීතිය ක්‍රියාත්මක කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවද අවධාරණය කළහ.

දැන් සිදුවන්නේ පනත් කෙටුම්පත සැකසීම මිස කතිකාවත් ලියාපදිංචි කිරීම නොවන බවත් ඇතැම් අය මෙය වැරදියට වටහාගෙන නැති ප්‍රශ්න මතුකැරන බවත් උන්වහන්සේ කීහ.

මෙම පනත් කොටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවට රාමඤ්ඤ මහනිකායේ විශේෂ අධිකාරී මණ්ඩලය මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ විහාරයට පසුගිය 22 දින රැස්ව සාකච්ඡා කැර තීරණය කළ බවද මහ නාහිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *