• Tue. Feb 7th, 2023

senaka bibile medicine

දේශීය වෙළෙඳපොළෙහි පවතින බොහෝ ප්‍රතිජීවක බෙහෙත් වර්ගවල මිල ගණන් ගතවූ මාස හයක කාලය තුළදී සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස්‌ ඇති බවට පසුගියදා වාර්තා විය. අහස උසට වැඩි වෙමින් පවතින මෙම බෙහෙත් මිල ගණන් ඉහළ යාම නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටිනුයේ ආර්ථික අඟහිකම්වලින් පෙළෙන රෝගීන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් මෙම බෙහෙත් මිල ගණන් මේ සා විශාල ප්‍රතිශතයකින් ඉහළ යන තෙක්‌ බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවක්‌ නොකොට බලා සිටියේ මන්ද.? යන ගැටලුව කා තුළත් පැන නගී.

සැබැවින්ම මේ වන විට බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළ යුතු ආයතනය වන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පිහිටු වූ ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරිය බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට පත්වී හමාරය. එය පිහිටවූ ඉකුත් වසරේ ජුලි මස පළමුවැනිදා සිට මේ දක්‌වා ගත වූ කාලය තුළ මෙරටට ගෙන්විය යුතු බෙහෙත් වර්ග අලුතින් ලියාපදිංචි නොකිරීම හේතුවෙනි.

මෙම තත්ත්වය දේශීය වෙළෙඳපොළෙහි පවතින ප්‍රතිජීවක බෙහෙත් වර්ගවල මිල ගණන් ඉහළ යාම කෙරෙහි බෙහෙවින් බලපා තිබේ. බෙහෙත් මිල ගණන් ඉහළ යාමට හේතුවී ඇති අනෙක්‌ කරුණ නම් ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය ඉහළ යාමයි.

මේ වන විට අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොකිරීම යන සාධකය මත මහරගම පිලිකා රෝහල ඇතුළු රජයේ රෝහල් ගණනාවක අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග හිඟව පවතින බව වාර්තා වේ. මහරගම පිළිකා රෝහල තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතී. පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග රැසක්‌ මෙම දිනවල එම රෝහලෙහි හිඟව පවතින බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටිති.

සෙසු බෙහෙත් වර්ග මෙන් නොව පිළිකා රෝගවලට භාවිත කරන බෙහෙත් හා එන්නත් වර්ග පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී රුපියල් දස දහස්‌ ගණනින් මුදල් වැය කිරීමට සිදු වේ. ඇතැම් හිඟව පවතින පිළිකා නාශක එන්නතක්‌ මිලදී ගැනීමට නම් රුපියල් ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය කළ යුතුය. මේ සා විශාල මුදලක්‌ දැරීම සාමාන්‍ය පවුලක පිළිකා රෝගයකට ගොදුරු වූ අයෙකුට කිසිසේත් කළ හැක්‌කක්‌ නොවේ.

පිළිකා රෝගීන්ගේ දිවි සුරකින අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග මෙසේ මහරගම පිළිකා රෝහල තුළ හිඟව පැවතියදීත් සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම කනගාටුවට කරුණකි. අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොකිරීම මෙම පිළිකා නාශක බෙහෙත් වර්ග හිඟ වීමට බලපා ඇති බව පවසමින් එම බෙහෙත් වර්ග ලියාපදිංචි කෙරෙන ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියෙහි ප්‍රධාන තනතුරු දරන විශ්‍රාමික මහාචාර්යවරුන් දෙදෙනාට පිළිකා රෝග විශේෂඥවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළදී දැඩි ලෙස බැණ වැදුනේ මෑතකදීය.

එම මහාචාර්යවරුන් මෙම පිළිකා නාශක බෙහෙත් හිඟයට සෘජුවම වගකිවයුතු බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

මේ වන විට මේ අයුරින් ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරිය වෙත බෙහෙත් හිඟයට සෘජුවම වගකිවයුතු බවට චෝදනා රැසක්‌ එල්ල වී තිබේ. එයින්ද නොනැවතුණු විශේෂඥ වෛද්‍යවරුන් ඖෂධ නියාමන අධිකාරයෙහි ප්‍රාධානීන් වන විශ්‍රාමික මහාචාර්යවරුන් දෙදෙනා නිසි පරිපාලන හැකියාවකින් තොර වෛද්‍ය විද්‍යාවේ සායනික පුහුණුවක්‌ හෝ නොලද අය වීම නිසා රෝගීන්ගේ අවශ්‍යතා නොහඳුනන බව පවසමින් ඔවුන්ව එම තනතුරින් ඉවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

මේ වන විටද අදාල මහාචාර්යවරුන්ව තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට පරිපාලනය පිළිබඳව මනා හැකියාවකින් යුතු කාර්යශූර වෛද්‍ය විද්‍යාවේ සායනික පුහුණුව ලද විද්වතුන් දෙපළක්‌ ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන තනතුරුවලට පත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

මෙසේ ඖෂධ නියාමන අධිකාරියෙහි ප්‍රධානීන්නට බෙහෙත් ගිඟයකට ඔවුන් වගකිව යුතු බවට චෝදනා එල්ල වීමට තවත් හේතුවක්‌ වී ඇත්තේ ඔවුන් තම හිතවත් මහා පරිමාණ බෙහෙත් සමාගම් කිහිපයකට පමණක්‌ මෙරටට බෙහෙත් ගෙන්වීමේ අයිතිය ලබා දී මධ්‍යම හා සුළු පරිමාණයේ බෙහෙත් සමාගම් ක්‍ෂෙත්‍රයේ ඉවත් කිරීමේ මෙහෙයුමක නිරතව සිටින නිසා බව රජයේ විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය මත ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියෙහි කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ. ඉකුත් නොවැම්බර් මාසයේදී කොළඹ පැවැති මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ උත්සවයේදී එම අධිකාරියට අයත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටියේ පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ට පෙර පැවැති ජාතික ඖෂධ අධිකාරියෙහි අඩුපාඩු සකස්‌ කිරීමට කාලය මිඩංගු කිරීමට සිදුවූ බවයි.

එහෙත් එසේ අඩුපාඩු සකස්‌ කරනවාත් මෙන්ම මෙරටට රෝගි ජනතාවට හිඟයකින් තොරව බෙහෙත් ලබා ගැනීමේ අයිතියද ලබා දෙන අයුරින් කටයුතු කිරීම තම යුතුකම බව නියාමන අධිකාරියෙහි බලධාරීන් විසින් අමතක නොකළ යුතු කරුණක්‌ වී තිබේ. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දර්ශනය අනුව කටයුතු කරන්නේනම් අඩුම වශයෙන් තත්ත්වයෙන් උසස්‌ බෙහෙත් වර්ග සාධාරණ මිලකට මිලදී ගැනීමේ අයිතිය රෝගී ජනතාවට ලබා දීමටවත් අධිකාරිය කටයුතු කළ යුතුව තිබේ. මන්ද ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනු ලැබුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ වීම නිසාය.

මේ සඳහා ගුණාත්මක බවින් උසස්‌ බෙහෙත් වර්ග නිසි පටිපටියකට අනුව මෙරටට ගෙන්වා රෝගී ජනතාවට ලබා දීම අධිකාරියට සිදු කිරීම අපහසු වූවක්‌ නොවේ. එහෙත් ඔවුන් දැනට මුල් තැනදී ඇත්තේ බෙහෙත් වර්ග ලියාපදිංචිකර මෙරටට ගෙන්වීමට වඩා පෙර පැවැති ජාතික ඖෂධ අධිකාරියෙහි අඩුපාඩු සකස්‌ කිරීමට බව බැලූබැල්මට පෙනී යයි.

ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට පෙර මෙරටට ගෙන්වන බෙහෙත් වර්ග ලියාපදිංචි කිරීම සිදු කළ ජාතික ඖෂධ අධිකාරියේද වැරැදි රැසක්‌ පැවැතිණි. ඇතැම් අවස්‌ථාවලදී මෙරට ලියාපදිංචි නොවූ බෙහෙත් වර්ග පවා එකල හොර රහසේ කොමිස්‌ මුදලට යටත්ව ගෙන්වූ බවට තොරතුරු වාර්තා වූයේ වරක්‌ දෙවරක්‌ නොවේ.

එම අඩුපාඩු සකස්‌ කරනවාත් මෙන්ම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග කලට වේලාවට මෙරටට ගෙන්වා දීමට ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියෙහි බලධාරීන් විසින් පියවර ගත යුතුව තිබේ.

එරහෙත් අවාසනාවකට එම අධිකාරිය පිහිටුවා මාස හයක්‌ ගතවී ඇතත් එම අධිකාරිය තම කාර්යභාරයටත් තවම හරිහැටි අවබෝධ කර ගෙන නොමැති බව පෙනී යෑයි.

අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොවුණද නියාමන අධිකාරියට අයත් නොවන විලවුන් සම්බන්ධ ගණුදෙනු මෙරටට විලවුන් ගෙන්නූ ඇතැම් සමාගම් හා එක්‌ව සිදු කිරීමට අධිකාරියට සම්බන්ධ ඇතැම් නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

අනෙක්‌ අතට කිසියම් නීති විරෝධී බෙහෙත් වර්ගයක්‌ ඔසුසැලකින් අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන ආහාර හා ඖෂධ පරික්‍ෂකවරුන්ද නියාමන අධිකාරියෙහි බලධාරීන් ලබා දෙන උපදෙස්‌ පිළිනොපදින බවට වාර්තා වී තිබේ. මෙයද අයහපත් ප්‍රවණතාවකි. මන්ද මේ හරහා දිවයින පුරා පිහිටි නීතිවිරෝධීව පවත්වාගෙන යන ඔසුසැල් වැටැලීමේ ක්‍රියාදාමයද බිඳවැටීමට ඉඩ තිබීමයි.

ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියෙහි කටයුතු මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ බෙහෙත් වර්ගවල මිල ගණන් පාලනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි තවමත් සකස්‌ කෙරෙමින් පැවැතීම නිසා ඒ සම්බන්ධව අධිකාරියට සෘජුවම චෝදනා එල්ල කළ නොහැකි බවකි. ඖෂධවේදීන්ගේ හිඟයක්‌ද අධිකාරිය තුළ පැවැතීම නිසා එම අඩුපාඩු සකස්‌ කිරීමට තව කාලයක්‌ ගත වනු ඇතැයි අමාත්‍යාංශයේ මතය වී තිබේ.

එහෙත් මෙරටට අවශ්‍ය බෙහෙත් වර්ග ලියාපදිංචි කරන ඒවා නිසි වෙළාවට ගෙන්වා දීමට අධිකාරිය කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාකය අත්විඳීමට සිදුවන්නේ මෙරට අසරණ රෝගී ජනතාවට බව බලධාරීන්ට මොහොතකට හෝ අමතක වී ඇති බව පෙනී යයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ අවශ්‍ය රෙගුලාසි නිර්මාණය කර අවසන් වන තෙක්‌ අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොකිරීම ප්‍රශ්නයට විසඳුම් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුතුකම හා වගකීම වනුයේ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග නිසි කලට ලියාපදිංචි කර එම බෙහෙත් වර්ග හිඟයකින් තොරව රෝගීන්ට ලබා දීමට පියවර ගැනීමයි. මහාචාර්ය බිබිලේ චින්තනය අනුව කටයුතු කරන්නේනම් සිදු විය යුත්තේද එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *