• Tue. Feb 7th, 2023

CSN තව පිරිසක් අද, හෙටම අත්අඩංගුවට.

csn arrest

සී. එස්‌. එන්. (CSN ) නාලිකාවේ සිදුවී ඇතැයි කියන තවත් මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසයි.

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ, සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රොහාන් වැලිවිට, අධ්‍යක්‍ෂ අශාන් ප්‍රනාන්දු සහ කපිතාන් දිසානායක යන අය මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.

චෝදනා 7 ක්‌ :
බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ප්‍රධාන වශයෙන් චෝදනා 7 ක්‌ එල්ල වී ඇත.

රජයේ මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, කූට ලේඛන සකස්‌ කිරීම, රජයේ මුදල් පිළිබඳව සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යන චෝදනා මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබේ.

සී.එස්‌.එන්. නාලිකාව ආරම්භ කරනු ලැබුවේ කොස්‌මෝ නමැති ආයතනයකින් රුපියල් මිලියන 100 ක ණය මුදලක්‌ ලබාගෙන බවත් එම ණය මුදලින් රුපියල් මිලියන 50 ක්‌ ගෙවීමේදී මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බවත් රජයේ මුදල් වලින් නඩත්තු කර ඇති සී.එස්‌.එන්. නාලිකාවට ලැබුණු රුපියල් කෝටි ගණන් මුදල්වල තොරතුරු හෙළි කර නැති බවත් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් කියා සිටී.

නීත්‍යානුකූල නොවන ගනුදෙනු :

තවද සී.එස්‌.එන්. නාලිකාව එංගලන්තයේ සමාගමකින් ඕබිට්‍රැක්‌ යන්ත්‍ර මෙරටට ආනයනය කිරීමේදී හා ඒවා නිෂ්කාශනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර ඇති ඉන්වොයිස්‌ සම්බන්ධයෙන් දැඩි ගැටලු පවතින බවත් නිෂ්කාශනය සඳහා වැයවූ රුපියල් මිලියන 90 ක මුදල් අදාළ සමාගමේ ගිණුමෙන් ගෙවා නැති බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණි.

එම මුදල් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවලින් උපයා ගත් ඒවා දැයි සැකකරන බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට දැනුම් දෙන ලදී.
මෙම චෝදනා යටතේ යෝෂිත රාජපක්‌ෂ ඇතුළු පස්‌දෙනාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර මෙම වංචාවලට සම්බන්ධ තවත් පිරිසක්‌ පිළිබඳව පුළුල් විමර්ශන පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් ක්‍රියාත්මක කරගෙන යයි.

 

(slmirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *